ස්වාධීන රූපවාහිනී සේවයෙන් ප්‍රචාරය කළ දැන්වීම් සඳහා මුදල් ගෙවීම් කර තිබුණත් එම මුදල් නොගෙවූ බව සළකමින් ගණනය කළ අවස්ථා බොහෝමයක් ඇති බවත් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් එළෙස ගණනය කොට ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අද (20) බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය.

ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරී ලසන්ත මංජුල අලගියවන්න මහතා තමන්ට ලබාදුන් ලේඛන අට පරීක්ෂා කිරීමේදී මෙම කරුණු හෙළිවූ බව මාරපන මහතා දැනුම් දුන්නේය.

කරුණු සැළකිල්ලට ගත් කොමිසමේ විනිසුරු මඩුල්ල ස්වාධීන රූපවාහිනී සේවයේ අභ්‍යන්තර විගණන නිලධාරියා ඉදිරිපත් කළ ලේඛන වල ඇති නොගැලපීම් සම්බන්ධයෙන් වගුවක් සකස් කොට පැමිණිල්ලේ නීතිඥ මහතා හා සාකච්ඡා කිරීමට සාක්කි විභාගය අතරමග නතර කළේය.

අලගියවන්න මහතාගේ සාක්කියේ ඇති අපහැදිලි තැන් නිරවුල් කරගන්නා ලෙස දැනුම්දුන් විනිසුරු මඩුල්ල  ඔහුගේ සාක්කි විමසීම නතර කොට වැඩිදුර සාක්කි විමසීම දෙසැම්බර් මස 17 වැනිදාට කල් තැබීය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන,අමේන්ද්‍ර සෙනෙවිරත්න,විකුම් කළුආරච්චි,ගිහාන් කුලතුංග , හිටපු විගණකාධිපති පී.ඒ.පද්මතිලක යන මහත්වරු කොමිසමේ සාමාජිකයෝය.