(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

විෂ මත්ද්‍රව‍්‍ය  පානය කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ  කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.

පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ වන සහ පිළියන්දල නගරය හරහා ධාවනය වන පුද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන්  විෂ මත්ද්‍රව්‍ය  පානය කර ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම  පරික්ෂා කිරීම ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ විශේෂ පරීක්ෂණාගාරයක් සහිත  බස් රථයක් තුළදී  පිළියන්දල ප්‍රධාන බස් නැවතුම්පොළේදී සිදු කෙරුණි.

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සහ පිළියන්දල පොලිසිය ඒකාබද්ධව පුරා පැය පහකට ආසන්න කාලයක් එම පරික්ෂා කිරීම සිදුකෙරිණි

මාර්ග අංක 120( කැස්බෑව - පිටකොටුව) ,255 ( ගල්කිස්ස - කොට්ටාව) 162 ( පිළියන්දල බණ්ඩාරගම) 341 ( පිළියන්දල - මහරගම) 341/2( කරදියාන හරහා - මහරගම) 342  ( පිළියන්දල  -කොට්ටාව)  157  ( කහපොල - පිලියන්දල )  හා  157/1 පිලියන්දල - මාකන්දන) යන මාර්ගයන්හි  රියදුරන් සහ කොන්දොස්තරවරුන් එලෙස පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී රියදුරන් සහ  කොන්දොස්තරවරුන් 170 කු පරික්ෂාවට ලක් කිරීමේ දී 07 කු ගේ ශරීරවල විෂ මත්ද්‍රව්‍ය  අඩංගු වී ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.