හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය.

‘‘ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. එන්ජීඕ කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සන්විධාන එක්ක මම වැඩකරනවා‘‘ යැයි පැවසූ ජනපති මෙසේ ද කීවේය.

‘බඩු මිල, ජීවන වියදම, රැකී රක්ෂා ප්‍රශ්න අද පැහැදිලවම තිබෙන ප්‍රශ්න. ජාත්‍යන්තරය ඉදිරියේ අපට තිබුණු ප්‍රශ්න එක්ක ඒවා ප්‍රාථමිකයි. ඒවා අපට විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා කුමන විවේචන ආවත් ඒ කළ යුතු මූලික කාර්යය මේ රට නිදහස් කරගැනීම ජාත්‍යන්තරය හමුවේ වූ චෝදනාවලින් බේරාගැනීම අප කරලා ඉවරයි‘

‘රටක් බරපතල අසීරුවකට වැටුණු විට රටකට බරපතල අභියෝග එල්ලවුණු විට ලෝක ඉතිහාසයේ සාක්කි සාධක අපමණයි ඒ රටේ දේශපාලන ආගමික ආදී බේද නොසලකා එකට එක්වූ අවස්ථා තිබෙනවා.‘

‘යුද්ධවලට මුහුණ දෙන්න ඒ රටවල් එකට එකතු වුණා. ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය පක්ෂ බේද ආදී සියලු බේද අමතක කළා. ශ්‍රීලනිපය එජාපයත් සමග සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ සංගීත පුටු තරගයකට නෙමෙයි. විනෝදයට නෙමෙයි. 015 ජනවාරි 8 ජනාධිපතිවරය පවත්වන්න කලින් එදා හිටපු ජනපතිට මම තමයි පක්ෂ ලේකම් විදියට 2014 අප්‍රේල් ලිඛිතව දුන්නා මැතිවරණයකට යන්න එපා යුද්ධයෙන් පසු කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා ඒවා නොකර ඡන්දයකට යන්න එපා මේ කරුණු ඉෂ්ට කරන්න කියලා මම කරුණු 6ක් ලිඛිතව දුන්නා. මම කිව්වා දේශපාලන ප්‍රතිසංස්කරණවලට යමු. රට තුළ කළ යුතු වෙනස්කම්වලට යමු. සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ගොඩනගලා යමු කියලා. මම කියපු දේ ඇහුවේ නෑ. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවේ නෑ.‘

‘ජාත්‍යන්තරව අප මුහුණ දුන් අභියෝග බරපතලයි. ඒ වගේම ජාතික දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න සූදානම් වුණු තොරතුරු සියල්ල මා ළඟ තිබුණු නිසා මම එළියට බැහැලා එජාපය ඇතුළු අනෙක් පක්ෂ සියල්ල සමග එකතු වුණා. සමහර අය කියනවා මේ ආණ්ඩුවේ වැරදි විවේචන සියල්ල. ඒ දේවල් නිවැරදි කළ යුතුයි. යන ගමනේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා. අද කියන කරුණුවලට වඩා 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව මාව ජනාධිපති ලෙස පත්කර නොගත්තා නම් මේ රට තිබෙන්නේ කොතැනද කියා උගත් බුද්ධිමත් බහුශ්‍රැත ජනතාවගෙන් අහන්න කියා මම කියනවා.‘

‘මුළු ජාත්‍යන්තරයම ඔබෙත් මගෙත් මාතෘ භූමියට එරෙහිව අවි අමෝරාගෙන සිටි කාලයක් 2013-2014. අපට ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගී තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආරක්ෂක මණ්ඩලයේ දී අපි පැරදුණා.‘

‘රටේ හොඳ දේ වගේම නරක විදියට ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනවා. ෆේස්බුක්, විරෝධතා, උද්ඝෝෂණ රටකට නොගැලපෙන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා යනවා. මම සභාපති වෙන්න කලින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණාම ගොළුවෙලා ඉන්නේ. ඔය අද කෑගහන සියලු නායකයෝ කට ඇරියේ නෑ. මට උසුළු විසුළු කරපු අදත් කරන ආප්ප කථාව මතක ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින්ගේ රැස්වීම තමයි එදා තිබුණේ. ඔය සන්ධානේ එක නායකයෙක්වත් කට ඇරියේ නෑ ඊළඟ මැතිවරණය ගැන හිටපු ජනාධිපති අහද්දී. සමහරුන්ට පුරුදු නෑ ප්‍රජාතන්ත්‍රවාදය පක්ෂය තුළ භුක්ති විඳින්න.‘

‘බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ රටේ බලය බෙදීමේ නිර්මාතෘවරයා . ඉන්පසු ඩඩ්ලි සේනානායක මැතිතුමා චෙල්වනායගම් සමග ගහපු ගිවිසුම එදා ඒක කරන්න දුන්නෙත් නෑ. ඊට පස්සේ රට යුද්ධයකට තල්ලු වුණා.‘

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ආගමික පූජකවරුන්ගේ උපදෙස් මත වැඩකරන පක්ෂයක් බවට පත් කරනවා. ඒ ඵෙතිහාසික තොරතුරු සමග මේ රට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනගනවා. ඒ සඳහා සහයෝගය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අද නවීන විද්‍යාව නව තාක්ෂණය එක්ක නවෝත්පාදනය සමග ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අද ඉතා පිටිසර පැලක ඉන්න දරුවකුට අතේ තිබෙන ජංගම දුරකථනය හරහා මුළු ලෝකයම දකින්න පුළුවන්. ඒ නිසා නව තාක්ෂණයත් එක්ක අපේ උගත් තරුණ පරපුරත් එක්ක මේ පක්ෂය ගොඩනගලා අපි සියලු දෙනා හෙට දවසේ හොඳ පක්ෂයක් හදන්න අනාගත ආණ්ඩුවක් හදන්න එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා. අක්‍රමිකතා, දූෂණය, නාස්තිය අපි හදවත්වලින් ඉවත් කරගනිමු. බලය ජනතාවගේ රටේ යහපත සඳහා පැහැදිලිව යොදා ගත යුතුයි. සියල්ල ජනතාවගේ ශක්තිය මතයි රඳා පවතින්නේ. මන්ත්‍රීවරයෙක්, ජනාධිපතිවරයෙක් බලයේ ප්‍රධාන සාධකය නොවෙයි. බලයේ ප්‍රධාන සාධකය හා ශක්තිය රටක පොදු ජනතාවයි. අපි සියලු දෙනා පිරිසිදු පවිත්‍ර දේශපාලනයකට කැපවෙමු. අපි සෑම කෙනෙක්ම අද දවසේ සිට හෙට දවස වෙනුවෙන් නව පරපුරකට උගත් පරපුරකට නිදහස් පක්ෂය ගොඩනගන්න බාරදෙමු. අපි ජාත්‍යන්තරයට මුහුණ දී ජයග්‍රහණ ලබාගත් සේම තවත් ජයග්‍රහණ ලබාගත යුතුයි. ඒ තිබුණු අසුන්දර ණය බර මේ රට පත්වෙලා තිබුණු තත්ත්වයෙන් ගොඩගන්නට මේ සම්මුතිවාදී ආණ්ඩුව වැදගත්. ජාත්‍යන්තර අභියෝගයේ ඉතිරි කොටස ජයගමු.‘