(අංජුල මහික වීරරත්න)

අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ලැබිය හැකි දෙළුම් වගාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය යටතේ මඩකලපුවේ වගා කර තිබෙි.

ඉන්දියාවේ වගා කරන විශේෂ දෙළුම් ප්‍රභේදයක් වන "භගවාන්" නැමැති දෙළුම් ප්‍රබේදය මෙහි වගා කර ඇති බව කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය පවසයි. මඩකලපුව කළවංචිකුඩි ප්‍රදේශයේ හා මුලතිව් දිස්ත්‍රික්කයේ ද මුහුද ආසන්නව මෙම දෙළුම්වගාවන් පළමු අදියර යටතේ අක්කර 150ක් හා දෙවන අදියර යටතේ අක්කර 150ක් වශයෙන් අක්කර 300ක වගා කර තිබේ.

දැනට මෙම දෙළුම් වගාවන්ට මාස නවයක් ගත වී ඇති අතර අස්වනු නෙලීමට ගත වන සමස්ත කාලය මාස 18ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශ පවසයි.

ඒ අනුව තවත් මාස නවයකින් මෙම වගාවන්හි අස්වනු නෙලීමට හැකිවන අතර අක්කර බාගයකින් රුපියල් ලක්ෂ 64ක ආදායමක් ඉපයිය හැකි වීම මෙම වගාවේ සුවිශේෂීත්වයක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

දේශීය පරිභෝජනයට මෙන්ම අපනයනය ඉලක්ක කරමින් මෙම දෙළුම් වගාවන් සිදු කර තිබේ. ගොවීහු 600ක් දෙළුම් වගාවේ නිරතව සිටිති.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මඩකළපුව කලවංචිකුඩි දෙළුම් වගාව පිළිබඳ කරුණු සොයා බැලීමට එහි නිරීක්ෂණ චාරිකාවක සහභාගී වූ අතර ආදර්ශ කෘෂි උද්‍යාන ලෙස සංවර්ධනය කෙරෙන මෙම වගාවන් සෙසු ගොවීන් ද ව්‍යාපාරික කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම තම අරමුණ බවද සඳහන් කළේය.