( අමල් වික්‍රමරත්න )

ජාතිය බලමුළුව සංවිධානයේ හිමිවරුන්ට හෝ  එම සංවිධානයට අයත් නොවන කවරහෝ හිමිනමකට හෝ අක්මීමන දයාරත්න හිමි ඇතුළු පැමිණෙන තැනැත්තන්ට හා වාහනවලට රෝහීන්ග්‍යා සරණාගතයන් රඳවා සිටින රැදවුම් කදවුර පරිශ්‍රය සහ ඒ අවට ඇති මාර්ගවල රැදී සිටීම හෝ ඇතුළුවීම තහනම් කරමින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

මෙම තහනම් නියෝගය රත්ගම පොලිස් ස්ථානාධිපති කමල් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමක් අනුව නිකුත් කෙරිණ.

බූස්ස බන්ධනාගාර පරිශ්‍රයේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් බූස්ස රැදවුම් කදවුර පිහිටි ප්‍රදේශයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිස්වලින් එල්ලවිය හැකියැයි අපේක්ෂිත තර්ජනයකට මුහුණදීම සඳහා මෙලෙස ආරක්ෂාව දැඩි කර තිබේ.

සංවිධාන කිහිපයක් එම සරණාගත පිරිස්ට යම් බලපෑමක් එල්ල කිරීමට පැමිණෙතැයි සමාජ ජාලාවල සඳහන් වී තිබීම මෙම ආරක්ෂක වැඩ පිළිවෙලට හා උසාවි නියෝගයට හේතු වී ඇතැයි කියැවේ.