කාලගුණ විද්‍යාඥයන් විසින් ‘බාවි’ යන නමින් නම් කළ ප්‍රබල සුළි කුණාටුව චීනයට කඩා වැදුණි. සතියක් ඇතුළත චීනයට කඩා වැදුණු දෙවැනි සුළි කුණාටුව මෙයයි. කුණාටුව ගැන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමත් සමග ලක්ෂ ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු බව පැවැසෙයි.

සුළි කුණාටුව කඩා වැදුණේ ටයිසෝ වෙරළාශ්‍රිත නගරය හරහාය. මහ වැසි සහ ජල ගැලීම් වාර්තා වූයේ රට ඔබ්බෙන් පිහිටි වෙන්ෂූ නගරයෙනි. සුළි කුණාටුව චීනයට කඩා වැදුණේ පිලිපීනය හරහාය. පිලිපීන බලධාරීන් පැවැසුවේ සුළි කුණාටුව බිලිගත් ගණන 17 කි.

ගුවන් ගමන් නැවැත්වීමටත්, පාසල් සහ කාර්යාලවලට නිවාඩු ලබා දීමටත් බලධාරීන් වේලාසන කටයුතු කර තිබුණි. නිවාස රැසකට සුළි කුණාටුවෙන් හානි සිදුවුණු බවත්, ප්‍රදේශ රැසක විදුලිබල සැපැයුම් අඩාල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.