ශ්‍රී ලංකාවේ තිරසාර සංහිඳියාවක් ඇති කිරීමට ගතවූ මාස දහයකදී නව රජය කළ කැපවීම අගය කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ නව වැඩපිළිවෙළ පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රජාව දැඩි උනන්දුවකින්  බලාසිටින බවත් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා තානාපතිනි සමන්තා පවර් මහත්මිය පැවසුවාය.

ඇය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද හමුවිය.

ආසියාවේ සහ අප‍්‍රිකාවේ නායකයින් බොහෝවිට බලය තමා වටා රඳවා ගැනීමට උත්සාහ දරද්දී, ශ්‍රී ලංකා ජනාධිපති බලය අතහැරීමට කටයුතු කිරීම ඉතා අගය කළ යුතු බවත්, එය අනෙකුත් ලෝක නායකයින්ට ආදර්ශයක් බවත් පවර් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ කියා සිටියාය.

සංහිඳියා වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමේදී නව රජය ඉතා විශ්වාසවන්ත සහ පිළිගත හැකි යැයිද නිලධාරීන් සහ ආයතන අතර සබඳතා මීට වඩා පුළුල් කර ගත හැකිනම් යහපත් බවද ඇය කීවාය.

රජයේ නව සංශෝධන තමා ඉතා අගය කරන බවත් නව පිබිදීමක් ඇතිවී තිබෙන බවත් සඳහන් කළ පවර් මහත්මිය තවදුරටත් කියා සිටියේ එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ වලින් ආර්ථික ප‍්‍රතිලාභද ලබා ශ්‍රී ලංකාවට පහන් ටැඹක් සේ නැඟී සිටිමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය.

මේ අතර සමන්තා පවර් මහත්මිය අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

samantha_2015112301 samantha_2015112302