(ඉන්දිකා රාමනායක)

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයකුගේ‍ මිනුවන්ගොඩ නිවසට කඩා වැදුණු පිරිසක් ඒ මහතාට පහර දී මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

ආරක්ෂක හිස් වැසුම් හා ජැකට් පැළඳ පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු නියාමකවරයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිණි අවි එල්ල කර මරණීය තර්ජන සිදුකර ඔහුට පහර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම පුද්ගලයන් මොහුට පහර දෙන අවස්තාවේදී ‘‘රටේ කුඩු නවත්තන්න බැරි එකේ බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උඹ මොන මිනිහෙක්ද උඹගෙ පාඩුවේ වෙන දෙයක් බලාගෙන රස්සාව කර ගනින්” යනු වෙන් ප්‍රකාශකර ඔහුට තර්ජනය කර ඇත බවට. ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.

නිවසට ඇතුළු වූ මෙම නාදුනන පුද්ගලයන් එම නිළධාරියාගේ මවට ද පහරදී තම සහෝදරියගේ ඡංගම දුරකථනය ද පොලොවේ ගසා ඒ අයට ද තර්ජනය කර එම නිළධාරියාව දන ගස්සවා මාංචු දමා ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන පලාගොස් ඇත බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නියාමකවරයා  මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් පැම්ණිලි කර දැනට රෝහල් ගත වී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මූලික විමර්ශණයක් නව මැගසින් බන්ධනාගාරය විසින් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරස් ඒකනායක මහතා පැවසීය.