බූන්දල ජාතික වනෝද්‍යානයෙන් එළියට ආ වල් අලියෙක් තංගල්ලේ නොටොල්පිටිය දක්වා පැමිණ ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඩබ්ලිව්.ඒ.ධර්මකීර්ති මහතා පවසයි. ඔහු පවසන පරිදි මේ අලියා දැනට කිලෝ මීටර 40ට වැඩි දුරක් ගම්මාන හා කලපු පරිසරය මැදින් පැමිණ ඇත.

ජනාකීර්ණ ප්‍රදේශයක් හරහා තංගල්ල දෙසට ගමන් කරමින් සිටින අලියා යළි වනෝද්‍යානයට පළවා හැරීම දුෂ්කර බැවින් නිර්වින්දයන කැර ඇල්ලීමට කටයුතු කරන බව වෛද්‍ය ධර්මකීර්ති පවසයි. වගුරු සහිත පරිසරයේ දී අලියා නිර්වින්දනය කිරීමට අපහසු බව ඔහු කියයි.

බුන්දල සිට උස්සන්ගොඩ, කලමැටිය, රැකව හරහා නොටොල්පිටිය දක්වා අලියා පැමිණ ඇති බව වනජීවී නිලධාරීහු කියති. මේ මාර්ගය අදින් වසර ගණනාවකට පෙර අලි ඔබ මොබ ගිය මඟක් බවට ලිඛිත සාක්ෂි පවා ඇත.