(සමන් පාලිත නානායක්කාර )

ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන්  අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර  ඇති බව හපුතලේ  පොලීසිය කියයි. 

 මෙම මර්ග කොටසට ස්ථාන තුනකදී පස්කඳු කඩාවැටී ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වූ අතර ගමනාගමනය සදහා   එම මාර්ග කොටස භාවිතා කිරීම ඉතා අවදානම් විය.

මාර්ග සංවර්ධන අධිකාරිය බැකෝ යන්ත්‍ර යොදා රාත්‍රියේම මාර්ගය පිළිසකර කර වාහන ගමනාගමනය සඳහා විවෘත කෙළේය .

 සති අන්තයේ එළඹි දිග  නිවාඩු වේ දී පිට පළාත්වලින් එන වාහන අධික බැවින් මෙම මාර්ගයේ ගමන් ගැනීමේදී විමසිලිමත් වන ලෙසත් ඈත දර්ශනය නැරඹීමට ඉදිකර ඇති  නැරඹුම් වේදිකාවල නැවතීමේ දී ද විමසිලිමත් වන ලෙසත්  පොලිසිය මහජනයාට  දැනුම් දෙයි. 

 මේ අතර පවතින අයහපත්  කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල ළමා උද්‍යානය ද තාවකාලිකව අද දින වසා ඇති  බව බණ්ඩාරවෙල නාගරික කොමසාරිස් වරයා නිවේදනය කර ඇත.