(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය කලාප ලෙස සංවර්ධනය කිරීම එහි අරමුණ වන අතර ඒ අනුව  බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හදුන්වා දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරිණ. 

වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. පෙබරවාරී 02ට යෙදුනු ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි. 

ලෝක තෙත්බිම් දිනයට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ දර්ශන අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම් උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද දිනය පුරා  පැවැත්විණි. 

කොළඹ අනුලා විද්‍යාලීය පරිසර නියමුවන් 80 කගේ සහභාගීත්වයෙන් පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් සහ බස්නාහිර පළාතේ බාලදක්ෂිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක්  සංවිධානය කර තිබු අතර ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ සම්මානිත විද්‍යාඥ ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය එහි ප්‍රධාන දේශනය සිදු කළාය.