(යොහාන් භාසුර)

පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගිය දින කීපයේදී සමස්ත රටම ආවරණය වන පරිදි වැඩි මිලට බිත්තර අළෙවි කිරීම් සම්බන්ධ වැටලීම් 145 ක් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වැඩි මිලට බිත්තර අළෙවි කිරීම පිළිබඳව වැටලීම් තව දුරටත් ක්‍රියාම්තක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

මෙම තත්වය හමුවේ රට තුළ බිත්තර හිඟයක් නිර්මාණ වී ඇති බව බිත්තර නිෂ්පාදකයෝ පවසති.

බිත්තරයක් රුපියල් 55 කට උපරිම සිල්ලර මිලකට අළෙවි කිරීමට අවසර ලැබී ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා පැවසීය.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව එම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති නිසා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීමට අනුමැතිය ලැබී ඇති බවත් ආහාර සුරක්‍ෂිතා කමිටුවට එම මිල නිලවශයෙන් දැනුම්දීම ප්‍රමාද වී ඇති බවත් විජය අල්විස් මහතා කීය.