(අංජුල මහික වීරරත්න)

සත්ව ආහාර නිෂ්පාදනයේදී  බඩ ඉරිඟු වෙනුවට ආදේශකයක් ලෙස සුණුසහල් (Broken Rice) යොදා ගැනීමට සුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ  කරයි.

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු වෙනුවට සුනු සහල් හෙවත් කැඩුනු සහල්  ආදේශකයක් ලෙස යොදා ගැනීම සුදුසු දැයි ලිඛිත සහතිකයක් දෙන ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

අමාත්‍යවරයා කළ ඉල්ලිම පරිදි සත්ව නිෂ්පාදන හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සත්ව ආහාර ආදේශකයක් ලෙස කැඩුනු සහල්වල සුදුසුභාවය තහවුරු කර තිබේ.

බඩඉරිඟු හා කැඩුනු සහල් සත්ව ආහාර නිෂ්පාදනයේ දී ශක්තිජනක ආහාර අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනු ලබයි.

 බඩඉරිඟු වල කුකුළන් සඳහා වූ පරිවෘතික ශක්තිය කිලෝග්‍රෑමයට කිලෝ කැලරි 3300- 3400ත් අතර පවතී. කැඩුනු සහල්වල එම මට්ටම කිලෝග්‍රෑම් එකකට කිලෝ කැලරි 2900-3000ත් අතර අගයක් ගනී.

2021 මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න සියයට 10ක් දක්වා අඩුවීම හේතුවෙන් 2022 වසරේ  සතුන් සඳහා අවශ්‍ය සත්ව ආහාර සැකසීම සඳහා ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු නොමැති වීම නිසා සුනුසහල් මෙට්‍රික් ටොන් 25,000ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය තීරණය  කරනු කළේය.  2021  මහ කන්නයේ දී රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් බඩඉරිඟු  අස්වැන්න මෙට්‍රික් ටොන් 90,000 දක්වා පහළ වැටිණි.