(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු විමසීමට ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ප්‍රජා මුල්‍ය සමිති නියෝජිතයින් මැති සබයට කැඳවා ඇත.
ඒ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගිය 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී ප්‍රජා මූල්‍ය සමිති නියෝජිතයෝ ප්‍රජා මූල්‍ය සමිති මගින් සිදුවන කාර්යභාරය පැහැදිලි කරමින් එය ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන ආයතනවලින් වෙනස්වන ආකාරය පිළිබඳව කාරක සභාවට කරුණු ඉදිරිපත් කළහ.
ප්‍රජා මූල්‍ය සමිති මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් ඇතුළු පිරිස් නගාසිටුවීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන බවද ඔවුහු පෙන්වා දුන්හ.
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතෙන් ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ලබාදෙන සියලු ආයතන අධිකාරියක් යටතට පත් කිරීම ඔස්සේ ප්‍රජා මූල්‍ය සමිති කරන කාර්යභාරයට බලපෑම් ඇතිවිය හැකි බව එම නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරිය,පනත් කෙටුම්පත තුළ ප්‍රජා මූල්‍ය ආයතන පිළිබඳව වෙනම අර්ථ නිරූපණයක් කර නොමැති බැවින් අධිකාරියකින් පොදු නිර්ණායක ඔස්සේ ප්‍රජා මූල්‍ය ආයතන නියාමනයට ලක්කිරීමෙන් එම ආයතනවල මූලික අරමුණුවලට බාධා ඇතිවිය හැකි බව පෙන්වා දුන්නාය.
COMMENTS