පහ ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරිය පන්ති කාමරයේ දී සලකන ආකාරය නිසා තද බල කාංසාව වැළැඳී ඇතැයි වෛද්‍යවරුන් සහතික කර ඇති මොරටුවේ පාසලක දරුවකු මාස තුනක් තිස්සේ පාසලක් අහිමිව නිවසට වී සිටින බව ඔහුගේ මව කියන්නීය.
එම සිසුවාට පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සටීමේ අවස්ථාව ද අහිමිවේ යැයි මව සහ පියා කනස්සල්ලෙන් පසුවෙති.
මේ දරුවාට බැන වැදී අපහාස කරන ගුරුවරිය සිටින පාසලෙන් ඔහු වහා සුදුසු පාසලකට යවන්නැයි මනෝ වෛද්‍ය විශේෂඥ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහේෂ් රාජසූරිය මහතා නිර්දේශ කර ඇත.
දරුවා මොරටුවේ පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, පන්ති භාර ගුරුවරිය දරුවාට නිතර බැන වැදී පහර දෙන නිසා ඔහුට පාසලේ දී නොදැනුවත්වම මුත්‍රා පිටවන බවත්, උපකාරක පන්තිවල දී හා දහම් පාසලේ දී එලෙස මුත්‍රා පහ නොවන බවත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි කළත් පාසල් බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවත් එම මව විසින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට යැවුණු ලිපියේ සඳහන්ය.
එම ලිපියේ පිටපත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සහ පළාත් අධ්‍යක්ෂට යැවුවත් මෙතෙක් කිසිත් සිදුවී නැත.
දරුවා පාසල් නොඑවන ලෙස පාසලෙන් දැනුම් දුන් පසු සති තුනක් නිවසේ තබාගෙන සිටි බවත්, ඉන් අනතුරුව මාර්තු තෙවැනි සතියේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළු කළ බවත් මව්පියෝ කියති.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 19බී වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ සිසුවාට නිතර මුත්‍රා පිටවීමට හේතුව තදබල කාංසා තත්ත්වයක් බවත්, පන්ති කාමරයේ දී පමණක් එම තත්ත්වය ඇති වීමට හේතුව එම පරිසරය තුළ ඔහුට ලැබෙන තදබල විවේචන සහ අපහාසාත්මක කවටකම් බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් එම විද්‍යාලයයේ විදුහල්පතිනියට සහ පන්තිභාර ගුරුවරියට ලිඛිතව දැනුම් දී ඇත.
එම දරුවා විවේචන සහ අපහාසාත්මක කවටකම්වලින් ආරක්ෂා කර, ඔහුගේ ඉගෙනුම් පරිසරය සකසා දෙන ලෙසත්, එම තත්ත්වය තවදුරටත් සකස් කිරීමට වෛද්‍ය කණ්ඩායමක් පාසල වෙත පැමිණ උපදෙස් ලබා දීමට සූදානමින් සිටින බවත් එම ලිපියේ සඳහන්ය.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රාථමික අධ්‍යාපන ගුරුවරිය විසින් පන්ති භාර ගුරුවරියට යැවුණු ලිපියේ දැක්වෙන්නේ මෙම දරුවාට කිසිදු බුද්ධි උණතාවක් නොමැති බවයි.
මේ දරුවා සම වයසේ දරුවන්ට වඩා ඉහළ බුද්ධි මට්ටමක් ඇති දරුවකු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ මානසික සෞඛ්‍ය සංවර්ධන සහකාරවරයකු විසින් නිකුත් කැරුණු ලිපියක සඳහන්ය.
දරුවාට දිගින් දිගටම බලපෑම් එන නිසා එම පාසලට යෑම ඔහු ප්‍රතික්ෂේප කරන බවත්, ඒ වෙනුවෙන් වෙනත් පාසලක් ඉල්ලුවත් මේ වන තෙක් ප්‍රතිචාරයක් නොමැති බවත්, දැන් තුන්මාසයක් තිසේ දරුවා නිවසට වී සිටින බවත් මව කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ ගුරුවරියක් බොරලැස්ගමුව පැත්තේ ප්‍රාථමික පාසලකත් පහේ පන්තිය බාරව ඉන්නවා. පොළොන්නරු පැත්තෙන් ආ කාන්තාවක්. පොඩි ළමයින්ට කතාකරන්න දන්නෙ නැහැ (නි)
සුදුසුකම් නොමැතිව ලොකු දේශපාලන බලපෑම් මත රැකියා ලබාගෙන එන අයගෙන් තමා බොහෝවිට මෙවැනි ප්‍රශ්න ඇතිවන්නේ. පිටුපස තිබෙන ලොකු දේශපාලන හස්තය නිසා බියක් සැකක් නොමැතිව ඕනෑම දෙයක් කරනවා (නි)
ඇයි මේ විදියට ගුරුවරු හැසිරෙන්නෙ. රටේ අනාගත දරුවන්ගෙ ඇස් පාදන්නෙ මොවුන් නේද? අතීතයේ නම් ගුරු දෙවිවරු ලෙස හැදින්වුයේ. ඒත් දැන්? අනේ මන්දා.(නදී)
මේ ගුරුවරියත් පිටිපස්ස දොරෙන් රිංගාගත්ත කෙනෙක්ද දන්නේ නැහැ. මව්පියන්ට පස්සේ ඉන්න උතුම් පඬිරුවන ගුරුදෙගුරුයි. මේ ගුරුවරියව වෛද්දවරයෙකුට පෙන්නුවොත් හොද නැද්ද? (නදී)
ගුරු පත්වීම් ලබා දෙනන් කලින්, ගුරුවරුන් පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට සුදුසු කාලය පැමිණ ඇත. දරුවන් දූෂණය කිරීම, අපයෝජන කිරීම, ශාරීරිකව මෙන්ම මානසිකව ද දැන් නිතරම පාසල් වල සිදු වෙනවා. අධ්‍යාපන බලධාරීන් මේ ගැන මීට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේ නොවුණහොත් අනාගත පරපුර මානසික රෝගීන් වෙනවා අනිවාර්යයි. ගුරුවරුන්ට අධ්‍යාපන මනෝවිද්‍යාව හා ළමා මනෝ විද්‍යාව පිලිබඳ ගුරු පත්වීම දෙන්න කලින් අවබෝධයක් ලබාදිය යුතුයි. (ස)
ගුරුවරියට හොඳ දඩුවමක් දෙන්නයි තියෙන්නේ ආයෙත් මේ වගේ වැඩ නොකරන්න (නි)
මේ වගේ ගුරුවරු නිසා රට පුරාම පාසල් වල ඉන්න වැදගත් බුද්ධිමත් ගුරුවරුන්වත් දොස් නැගෙනවා. ලංකා දන්ඩ නිති සංග්‍රහයේ නව සංසෝධනයට අනුව කටයුතු කිරිමට පොලිසි යන්න. ළමා ආරක්ෂක ඒකකයට පැමිණිලි කරන්න. දරුවාගේ අනාගතය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු දමිය යුතුය. (ස)
තමන් ඉගෙන ගෙන තිබුණට ඒ සුදුසුකම් වලින් ගුරු පත්වීමක් ලැබුණත්, උගන්වන්න දන්නේ නැත්නම් සමාජයට සෙතක් වෙන්නේ නැහැ. ඉගෙනීම සහ ඉගැන්වීම හඳුනන්නේ නැති ගුරුවරු. (ස)
සමරනායක,ස්තුතියි මගේ මතකයත් දිගහැර දුන්නට. මේකේ වීඩියෝ පටය මට ලැබුනේ ඉන්දියානු මිතුරෙකුගෙන් 1978 දී වගේ.(http://www.baiscopelk.com/taare-zameen-par-2007) ලින්ක් එකට ගිහිල්ල බලන්න පුළුවනි. “ටාරේ සමීන් පර්“ "ස්ටාර්ස් ඔන් අර්ත්" "මිහිමත දිලෙන පුංචි තරු " දෙමව්පියන් විසින් නැරඹිය යුතු කාලීන චිත්‍රපටයක්. පාසල් දිවියේ සුවදායක මිහිරියාව නිතැතින්ම ආවර්ජනය කරන්නෙකි. ආමීර්කාන් රංගනය සහ අධ්‍යක්ෂණය. (ස)
මේ දරුවාගේ දෙමාපියන්ට දෙන පණිවුඩය නම්, " ළමා හා කාන්තා කාර්යංශයට" රෝහල් වාර්තා සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. විදුහල්පති සහ අදාළ ගුරුවරියට විරුද්ධව නඩු පැවරීම කළ හැකිය. (නි)
ගුරු වෘත්තියට නුසුදුසු මේ කාන්තාව වහාම මානසික රෝහලකින් ප්‍රතිකාර දී විශ්‍රාම ගැන්විය යුතුයි. (ස)
හරිම කණගාටුදායක පුවත් තමයි ගුරුවරුන් ගැන අහන්න ලබෙන්නෙ. පුංචි ළමයි න්ගේ මල් වගේ හදවත් තේරුම්ගන්න බැරි ගුරුවරුන් ගැන මොන කතාද?ගුරුවරුන් පිරිහීමට ලක්වෙනකොට සමාජය යන්නේ කොයිබටද? (නි)
මම මේ දරුවා ගැන ලිපිය මීට පෙර බැලුවා. මේ දරුවා වයසට වඩා බුද්ධිමත් දරුවෙක්. මේ ගුරුතුමියගෙ වරදින් අහිංසක දරුවෙක්ගෙ ජීවිතේම විනාශ වෙනවා.දරුවෙක් ගැන සෙනෙහසින් හිතන්න බැරි මේ ගුරුවරියව සේවයෙන් ඉවත් කළ යුතුයි. (ස)
ගුරුවරු මීට වඩා පොඩි දරුවො ගැන ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට බනින්නේ ගහන්නේ ඔවුන්ව හදන්න කියලා ඇඟ බේරගන්න බැහැ. ඒක ගුරුවරුන්ගේ මානසික තත්ත්වයේ ගැටළුවක්. ගහන්න බනින්නත් නිසි වයසක් තිබෙනවා. දෙක තුන වසර වල නොදරුවන්ට කරුණාව අත්‍යවශ්‍යමයි. (නි)
කවදා හරි ගුරුවරියට පව් ගෙවන්න වෙයි පුතේ ඔබ සියලු ශක්තිය අරගෙන හොදින් ඉගෙන ගන්න (දී)
ගුරු වෘත්තියට සුදුසු නොවන ගුරුවරියක් නිසා ඇයට වෙන තැනක පත්වීමක් දුන්නොත් හොඳයි (නි)
ගුරු වෘත්තියට සුදුසුකම් නැති අය සේවයට බදවා ගත්තම අහිංසක දරුවන්ගේ ජීවිත අදුරු වෙනවා. වහාම මෙවන් ගුරුවරු ගැන ලැබෙන පැමිණිලි විභාග කරලා දඩුවම් දෙන්න ඕන. එහෙම නොවුණොත් උගතුන් වෙනුවට ලංකාවට නුගත් සමාජයක් නඩත්තු කරන්න වෙනවා. (ස)
පන්ති කාමර වල රහස් කැමරා තිබුනානම් හරි. වෙන්නේ මොනවද කියන එක නිරීක්ෂණය කරන්න පුළුවන්. වර්තමානයේ අඩුමුදලකට ඒවා මිලදී ගන්න පුළුවන්. සියලුම පාසල්වලට බැරි උනත් පුළුවන් තරමකට හරි (දී)
ගුරු තනතුරට සුදුසු වන්නේ උගත්කම, විචාර බුද්ධිය සහ මානුෂික ගතිගුණ වලින් හෙබි මේ තවත් රැකියාවක් පමණක් නෙවේ යයි සිතන උදවිය. මේවට නුසුදුසු අය පත්වුණාම මේ ඒවායේ ප්‍රතිපල තමා. මේ අයට වරදට දඬුවමක් තියා ඉන්න පාසලෙන් මාරුවක් වත් නැහැ. ඒ වෙනුවට අසරණ සිසුවාට මාරුවක් ලැබෙනවා. (ස)
අනාගත පරම්පරාවක් නිර්මාණය කිරීමේ භාරදුර වගකීම දරන ගුරුවරයා, දැනුමෙන් මෙන්ම නව යහපත් ආකල්ප වලින්ද යාවත්කාලින විය යුතු බව මගේ අදහසයි. අධ්‍යාපනයෙන් පමණක් නොව, මනා පෞරුෂයකින් යුත් පුරවැසියන්ද රටක සිටිය යුතුයි යන්න ඔවුන් අවබෝධ කර ගත යුතුයි. නමුත්, ගුරුවරුන් පිටම වැරැද්ද පටවමින්, ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්නා කුඩා දරුවා උපරිම ලකුණු ලබා ඉතා ඉහලින් සමත් කරවීමට, ගුරුවරයාගෙන් උපරිමය බලාපොරොත්තුවන මව්පියන්, ගුරුවරයින්ගේ දැඩි බව හමුවේ, ඔවුන්ටම දොස් නැගීමටත් පුරුදුවී සිටිනවා. උසස් පෙළ විභාගයට වත් නොමැති තරඟකාරිත්වය ශිෂ්‍යත්ව විභාගයට තිබෙන නිසා එම ගුරුවරුන්ද විශාල පීඩාවකින් සිටිනවාට සැකයක් නැත. තමුන්ගේ ළමයා කරන, කියන සියලු දේ එක හෙලා අනුමත කරන මව්පියන් මෙහි දෙපැත්තක් ද ඇති බව වටහා ගත යුතුයි. (ස)
එකම ළමයෙකුට විතරක් මොකද මේ තත්වය? ගිහිල්ල ගුරුවරිය හම්බවුනාද දෙමවුපියන්? ළමයාගේ තත්වය ගැන ඉස්කෝලෙට ගිහිල්ල සාකච්ඡා කළද? පන්තියේ අනිත් ළමයින්ගේ දෙමවුපියන් සමග කතා කළාද? පෙනෙන විධියට මේ දෙමවුපියන් සහ පාසල අතර සම්බන්ධතාවය දුර්වලයි. (ස) ඒ එක පැත්තක්. අනිත් පැත්ත තමයි සමහර ඉස්කෝලවල ගුරුවරු ටිකදෙනෙක් ඉන්නවා බරපතල මානසික ආබාධ තියෙන. ළමයින් සමග කටයුතු කිරීමට සහ ළමා මානසිකත්වය අනුව අවස්ථාවන්ට උචිතවෙන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නැති එහෙම ගුරුවරයෙකුට ළමයින් ගැන දැනෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් සොයල බලල කටයුතු කලයුතු අවශ්‍ය පිළියම් යෙදිය යුතු කාරණයක්.
කුඩා දරුවන්ගේ ජීවිත මරා දමන මෙවැනි ගුරුවරුන්ට නිසි දඩුවම් දිය යුතුයි. (ස)
මෙම පුවතේ හැටියට ගුරුවරිය ගැන පියවරක් ගත යුතුයි.නැත්නම් දරුවාට පාසලක් ලබා දිය යුතුයි.දරුවාගේ මානසික තත්ත්වය ගැන සහතික කරන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් මිස වෙන කෙනෙක් නොවේ. සිංහල අයිතිය ගැන හඬ නගන සංවිධාන වල නායකවරුනි, මේ සිංහල දරුවාට පිහිට වන්න. (නි)
බොහෝ ගුරුවරියන් ගුරුවරුන් බාල පන්තිවල ක්‍රියා කිරීම නිතර දකින පුවතක්. රැකියාව දීමට පෙර ඔවුන්ට පෙරහුරුවක් සහ ගුරු වෘත්තීය ගැන පහදා දීම කළහොත් වටිනවා. (ස)
පාසැල් වල සමහර ගුරුවරුන්ගේ තත්වය මේක නම් කිසිම පාලනයක් නැතුව හා තමන්ට වෙන කරන්න දෙයක් දන්නේ නැති නිසා ලේසිම දෙය මොන්ටිසෝරි කිරීම කියලා හිතාගෙන අතන මෙතන පෙර පාසල් දමාගෙන ඉන්න, සමහර පෙර පාසල් ගැන කවර කතාද? (ස)
මෙම ගුරුවරිය මානසික වෛද්‍යවරයෙක් ලගට යොමු කළ යුතුයි.(නදී)
ඔවුන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා ඇති. (නි)
ඒක නම් සහතික ඇත්ත පාලිත. ඇයි ළමා අධ්‍යාපනය එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්නේ අපි? මුළු අනාගතයම ඉවරයි මුල වැරදුනොත්. (ස)
අද බොහෝ පාසල් වල මෙය සාමාන්‍ය සිදුවීමක් වෙලා. 5 වසරේ ළමුන්ට නොව හා හා පුරා කියා පාසලට ඇතුල්වෙන 1 වසරේ ලමුන්ටත් වේවැල් පහර දෙමින්, බැන වදිමින්, බිය ගන්වමින් මට්ටු කරන ගුරුවරියන් ගැන නිතරම අහන්න ලැබෙනවා. මේ ගැන ළමා හා කාන්තා කාර්යාංශයට දැනුවත් කිරීමෙන් අනතුරුව එය තදබල වැරැද්දක් බව ඔවුන්ද පිලිගන්නා නමුත් කිසිම දෙමව්පියකු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විධිමත් විමර්ශනයක් කිරීම මගහැරී ඇති බව දැන ගන්නට ලැබුණි. මෙසේ පැමිණිලි කිරීමට දෙමව්පියන් ඉදිරිපත් නොවන්නේ එතැන් පටන් එම ළමයාට අදාල ගුරුවරයාගෙන් පමණක් නොව සමස්ථ ගුරු පරපුරේම කෙනෙහිලිකම් වලට මුහුණ පෑමට සිදුවන නිසාවෙනි. පන්තිවලට තීන්ත ගෑමට සහ එස් පහ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට කියා පසුගිය වසරේ අයථා ලෙස මුදල් එකතු කළ ගුරුවරියක සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව අදාල දෙමව්පියන්ගේ දරුවන් දිගින් දිගටම පාසැල තුලදී කෙනෙහිලිකම් සහ කොන් කිරීමට ලක් වන බව අදාල ගුරුවරිය දෙමව්පිය රැස්වීමකදී වාර්ථා කරන ලද්දේ තමන් මහා වීර ක්‍රියාවක් කළ පරිද්දෙනි. කුඩා ළමුන්ගේ මනස අවුල් කරන මෙවැනි අකටයුතුකම් සම්බන්ධව නිර්නාමිකව ඉදිරිපත් කරන පැමිණිලි භාර ගැනීමට ළමා හා කාන්තා කාර්යාංශය මගින් වැඩපිලිවෙලක් යොදන්නේ නම් මෙවැනි පහත් පෙලේ වැඩ අවම කරවීමට මහගු පිටිවහලක් වේවි. (ස)
ඌරු ගොවිපළක දාන්න තිබුණේ. (ස)
ඇත්තටම ගුරුවරුන්ගේ කරුණාව දරුවන්ට තිබීම වැදගත් (නි)
මෙවැනි ගුරුවරු රැකියාවෙන් ඉවත් කළ යුතුය. 'ටාරේ සමීන් පාර්' කියලා හින්දි චිත්‍රපටයක් තිබෙනවා. එය නරඹන්න. (නි)
මෙයා ගුරුවරියක් නෙවේ. අනිවාර්යයෙන්ම ළමයා ගුරු දිනේට තෑගි ගිහින් දෙන්න නැතුව ඇති. (ස)
මෙවැනි සියුම් කරුණු තේරුම් ගැනීමට සහ නොපෙනෙන කරුණු විද්‍යාත්මකව තේරුම් ගැනීමට ඉහල නිලධාරීන්ට බුද්ධිය සහ උගත්කම් නොතිබීමේ පලවිපාක තමයි මේ . රටේ හැම අංශයකම ගුණාත්මක භාවය පෙර නොවූ ලෙස විනාශ වෙලා ,නොසලකා හැරලා. (ස)
සමස්ත ගුරුවරුන්ටම බනින්න එපා (දී)
සමහර ගුරු වෘත්තියේ යෙදෙන සුළු පිරිසක් නිසා අර දණ ගස්සන කෙනාට ලකුණු වැටෙනවා. සමරනායකගෙ අදහස හොද දෙයක්. සියළුම ගුරුවරු බලනවා නම් හොදයි. (නදී)
ගෙදර තියෙන ප්‍රශ්න පාසැලට අරන් ඇවිත් ළමයි පිටින් යවන ගුරුවරු ඕනතරම් ඉන්නවා. මටත් ඔය වගේ වැඩක් උනා උසස්පෙළ රසායන විද්‍යාව පන්තියේදී.(නදී)
ඔය දරුවා වෙන පාසලකට දාන්න. ඕකට නං දාන්න එපා කොහොමටවත්. ඉස්කෝලේ අනිත් ළමයි 13 වසරෙන් පස්සෙත් ළමයට විහිලු කරලා ඔය ළමයාගේ ජීවිතේම කාලකන්නි කරනවා. ඔය ඉස්කෝලෙන් පුළුවන් තරම් ඈත ඉස්කෝලෙකට දාන්න. ඔය ඉස්කෝලේ නං තියන්න එපා අම්මේ තාත්තේ (ස)
මෙවැනි තිරස්චීන වැඩ කරන්නේ තමන්ගේ ආරක්ෂාවට කවුරු හරි ඉන්න බව යටි හිතේ තියෙන අය. අනිවාර්යයෙන්ම මේ ගුරුතුමිය පිටුපස බලවත් අදිසි හස්තයක් ඇතැයි මට සිතේ. (ස)
මේ වගේ කෙනෙක් ගල්කිස්ස පළාතේ විදුහලකත් ඉන්නවා. 5 වසරට උගන්වන්නේ. හරිම අමානුෂික ගුරුවරියක්. නමුත් අසරණ මිනිසුන්ට ඒ ගැන කියන්න තැනක් නැහැ (නි)
වර්තමානයේ ගුරු ශේත්‍රයේ නොහොබිනා කතා ටිකක් අහන්න ලැබුනා (දී)
ගුරුකම යනු දෙවිකමයි.මෙය සමහර ගුරුවරුන් විසින් තේරුම් නොගැනීම දරුවන්ගේ අවාසනාවයි. (නි)
ඔය කියන ගුරුවරිය අවිවාහකද ? මේ අයව මානසික වෛද්‍යවරයෙක්ට යොමු කිරීම අත්‍යාවශ්‍යයි. (ස)
ඇයට සාංකාව, කාන්සිය ඇතිවෙන්න ඇති (නි)
පාසලක දරුවන්ට එක හා සමානව සැලකිය යුතුයි. මේ ගුරුවරිය තමන්ගෙන් විය යුතු සමාජ සේවය අමතක කිරීම කනගාටු දායකයි.මමත් මොරටුවේ. අපේ ගමේ මෙහෙම වෙන එක ලොකු කනගාටුවක්. (ස)
මගේ දුව තුන වසරේ, අලුත් පන්තිබාර ගුරුතුමියක් සමග ජනවාරි පාසල් අරඹා සති දෙකක් යනකොට පාසල් යන්න බැ කියල කියන කොට අහල බැලුවා.දුවගෙන් පන්තිබාර ගුරුතුමී ළමයිට බනිනවා, ගහනවා කිව්වා පොත් විසි කරනවා කිව්වා. දෙක වසර ගුරුතුමී දඩුවම් දුන්නා. ඉගැන්නුවා. ගොඩක් ළමයි තුන වසර ගුරුතුමී අමානුෂික ලෙස සලකන නිසා පාසල් යන්න බැ කියල බොහෝ දෙමාපියන් කියා සිටියා. මගේ දුව වාඩිවන පුටුව අරන් තිබුණා ගුරුතුමිගේ හෑන්ඩ් බැගේ තියාගන්න. පැය දෙකකට වැඩි වෙලාවක් දණ ගහගෙන පන්තියේ පාඩම් වැඩ කරලා තියනවා. පසුව ගුරුතුමී මට අමතක වුණා කියල පුටුව දීල තියනවා. මේ ගුරුතුමී ළමයිගේ දෙමාපියන්ට පාසලට එන්න කියල, මේ ළමයි ඉගෙනීමට හරිම දුර්වල නිසා මගේ පුද්ගලික පන්තියට දාන්න කියල. දැන් තුන වසරේ ගුරුතුමිගේ පුද්ගලික පන්තියට පාසලේ සිටින ගුරුතුමී පන්තියේ ළමයි ඔක්කොම යනවා. ගුරුතුමිගේ අමානුෂික සැලකීමත් දැන් නැ. දුවත් ආසාවෙන් පාසල් යනවා. (ස)
හැම කතාවකම පැති 2ක් තිබෙනවා. සමහරවිට ගුරුවරියගේ කතාව මීට වෙනස් ඇති.මෙවැනි දඬුවම් කරන එක අනුමත කරන්න බැහැ.දෙමවුපියන්ටත් වගකීමක් තියනවා.මගේ පුතාගේ පන්තියේ ඉන්නවා මව පියා දෙදෙනාම වෛද්‍යවරුන් වන ළමයෙක්.ළමයාගේ කෑම පෙට්ටියවත් අස්කරලා නෙමෙයි පසුවදා එවන්නේ.පොත්පතුත් හරිම අපිළිවෙලයි. ගුරුවරුන් ළමයින්ට දඬුවම් දිය යුතුයි.දඬුවම් නොකර හදන ළමයි තමයි ලොකුවුණාම වැරදි වැඩ කරන්නේ.හතරේ පන්තියේදී මගේ පන්තිභාර ගුරුවරයා සුභාෂිතයේ කවි 4ක් මතකයෙන් කිව්වේ නැහැ කියලා එක පේළියකට එක ගානේ අත් දෙකට 16 පාරක් වේවැලෙන් ගැහුවා.මම ගෙදර ගිහිල්ලා කිව්වෙත් නැහැ.එයින් පස්සේ බුද්ධාගමට ලකුණු සීයක් ගත්තා.මට දඬුවම් කළ සර් අදටත් හමුවුණාම අපි දෙන්නටම ඒක මතකත් නැහැ, පුතේ කියලා කතාකරනවා. (නි)