(සඳලි සත්සරණි සහ රසාංජලී වාසල)

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් මොණරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක පහේ ගොවීන් 4707 කට අයත් කුඹුරු අක්කර 6073 කට වැඩි ප්‍රමාණයක් හානියට පත්ව අැතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවැසීය.

ඒ අනුව මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවීන් 960 දෙනෙකුගේ කුඹුරු ඉඩම් අක්කර 1334 ක්ද පොළොන්නරුවේ ගොවීන් 560 දෙනෙකුගේ අක්කර 1100 ක්ද , හම්බන්තොට ගොවීන් 782 දෙනෙකුගේ අක්කර 435 ක්ද , අම්පාරේ ගොවීන් 505 දෙනෙකුගේ අක්කර 1004 ක් සහ අනුරාධපුරයේ ගොවීන් 1900 කගේ අක්කර 2200 ක්ද මෙසේ විනාශයට පත්ව අැත.

මීට අමතරව වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක බඩඉරිඟු ඇතුළු වගාවන් රැසකටද බරපතළ හානි සිදුව ඇති බව ජාසිංආරච්චි මහතා පවසයි.

ඒ අනුව හානියට පත් වූ වී, බඩඉරිඟු ඇතුළු බෝග 06 ක් සඳහා හෙක්ටයාරයකට රුපියල් 100,000 බැගින් වන්දි ගෙවීමට රජය පියවර ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.