(ඉන්දිකා රාමනායක)

ඉන්දියාවේ සිට රෙදි පිළි හා රන් භාණ්ඩ රැගෙවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරියක නිරත කාන්තාවන් තිදෙනකු ඇතුලු පිරිසක් පැහැරගෙන ගෙන ගොස් ඔවුන් සතුව තිබු රුපියල් කෝටිකට අධික වටිනා රන් බඩු ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු සිව් දෙනකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි  පෑලියගොඩ මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස චෝදනා එල්ල වන උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ගේ බස්නාහිර උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්ති රෝහාන් ප්‍රේමරත්න මහතා විසින් වැඩතහනම් කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාවන් තිදෙනා සතුව තිබු පවුම් 6 බැගින් වු රන් වළලු 4 ක්, ග්‍රෑම් 140 ක් බර මුදු 4 ක්, මෙලෙස සැකකරුවන් විසින් වංචාකර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ රැගෙන එන කණ්ඩායමකට අයත් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු අයත් බවත්, මොවුන් කාලයක සිට මෙම ව්‍යාපාරයේ නිරත වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.