(දියතලාව - ඩී.කේ.රත්න සහ හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර )

බදුල්ල සිට මහනුවර දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් උඩරට දුම්රිය මාර්ගයේ හීල්ඔය දුම්රිය ස්ථානයේදී අද (23) හවස පීලී පැනීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බණ්ඩාරවෙල දක්වා පමණක් සීමා වී තිබේ.

මෙම භාණ්ඩ දුම්රියේ දුම්රිය එන්ජිම පීලි පැන හීල්ඔය දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ හැපීමෙන් මෙම අනතුර සිදුවී ඇත. මෙම අනතුරින් කිසිවකුටත් හානිසිදුවී නැත.

මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දුම්රිය හීල්ඔය දුම්රිය ස්ථානයේ පීලි පැනීම නිසා කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නවතා තැබීමටත් බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද කිරීමටත්  දුම්රිය පාලක මැදිරියට සිදුවී තිබේ.

මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් එක්ව පීලී පැනීමට ලක්වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය යථා තත්වයට පත්කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටී.