(ඉන්දිකා රාමනායක)
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  උපදෙස් මත හා  ආරක්ෂක ලේකම්    මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාගේ අධීක්ෂණ යටතේ  පොලිසිය විසින් පරිසරය සුරැකීමේ  මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
 

මේ වෙනුවෙන්  පොලිස් දෙපර්තමේන්තුවේ  පාරිසරික දිසාව  නැවත  ප්‍රතිසංවිධානය කර ඇති අතර  පාරිසරික දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ හා අධ්‍යක්ෂවරයකු යටතේ   මෙම කටයුතු ක්‍රියාත්මක කර ඇති බවද පොලිසිය පවසයි.
 
 කොළඹ නගරයේ   පවිත්‍රතා  කොන්ත්‍රාත් සිදුකරන  පෞද්ගලික  ආයතන  සේවකයන්ට  දෛනිකව  අලුයම 5.30  සිට  පවිත්‍රතා කටයුතු   උපදෙස් ලබා ද ඇති  අතර  පැය 24 පුරාවට සේවකයන්  යොදවා එම තත්ත්වය පවත්වාගත යුතු බවටද  උපදෙස් ලබා දුන්   බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
 
 අද (24) දින බස්නාහරි පළාතේ සියලු  සෑම පොලිස් ස්ථානයකම  පාරිසරික ඒකක වල   ස්ථානාධිපතිවරුන්  කොළඹ කැඳවා  ඉදිරි කාලය තුළදී  පාරිසරික  ආරක්ෂාව සම්බන්ධයෙන්  ගතයුතු ක්‍රියා  මාර්ග සම්බන්ධයෙන් දැනුවත් කර ඇති  පාරිසරික නිළ ඇදුමට  පලදින  ජැකට්  බෙදා දුන් බව   රුවන්  ගුණසේකර මහතා සඳහන් කළේය.
 
කොළඹ නගරයේ    නිදහස් චතුරශ්‍රය  අසල, ගාලු මුවදොර පිටිය, පියකොටුව  බෝගස අසල,  පවිත්‍රතා සේවාවන් සිදුකරන  ආකාරය සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන්  නිරීක්ෂණ කළ අතර පරිසරය සුරැකීම් සම්බන්ධයෙන් ජනතාවද දැනුවත් කළහ

හෙට  (25)  පාරිසරික කොට්ඨාසයේ  පොලිස්  නිලධාරීන්  හා  පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ  ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400  ට අධික පිරිසක්  යෙදවා  වෙරළතීර පිරිසිදු කිරීම නියමතව ඇත.
 
මෙම සමන්ත ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලය  ලෙසට අපේක්ෂා කරන්නේ  පරිසරය සුරැකි  අලංකාර වු  ශ්‍රි ලංකාවක් බිහි කිරීම හා සුරක්ෂිත රටක්  ඇති කිරීම බවත්,  මේ සදහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසට  මහජනතාවගෙන්  ඉල්ලා සිටින බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.