(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ විශ්‍රාමික මේජර්වරියක වූ මනීෂා ඉන්දීවරි වික්‍රමසිංහ මෙනෙවිය වැල්ලවාය බුලුගල ආරණ්‍ය සේනාසනයේදී කරන්දෙණියේ ධම්ම නිරෝධා යන නමින් අද සසුන් ගත වූවාය.

සසුන්ගත වීම සිදුවූයේ බුලුගල ආරණ්‍ය සේනාසනයේ නිර්මාතෘ රතුපස්කැටියේ විමුක්තිරතන ,ගලඋඩහේනේ විශුද්ධි රතන සහ බද්දේගම ජිනසාර යන හිමිවරුන්ගේ උපාධ්‍යාත්වයෙනි

මෙහෙණි සසුනට ඇතුළත් කර ගැනීමේ සුබ නැකත උදා වීමට කලින් මනීෂා මෙනවිය මනමාලියක් ලෙස පෝරු මස්තකාරූඪ කර පසුව ඇයගේ ඥාති මිත්‍රාදීන් හිතවතුන්හිතවතියන් සමග ඡායාරූප ගැනීමට ද ඉඩ ප්‍රස්ථාව ලබා දුන් බව බද්දේගම ජිනසාර හිමියෝ ලංකාදීපයට පැවසූහ.

තරමක වේලාවක් මනමාලියක් ලෙස සැරසී සිටීමට අවකාශ ලබා දී පසුව ගිහි ජීවිතේම ඉන්නවාද එසේ නොමැතිනම් පැවිදි දිවියට එළඹෙනවා දැයි යනුවෙන් විමසන බවත් බද්දේගම ජිනසාර හිමියෝ වැඩිදුරටත් කීහ.

මනීෂා මෙනවිය ගෙන් මේ බව විමසූ අවස්ථාවේ ඇය මෙහෙණි සසුනට ඇතුල් වීමට කැමැත්ත ප්‍රකාශ කළ නිසා මනමාලියක ලෙස සැරසී සිටි ඇඳුම් ඉවත් කර කොණ්ඩය කපා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කර සිවුර පෙරවූ බව ජිනසාර හිමියෝ පෙන්වා දුන්හ.

ධම්ම නිරෝධා මෙහෙණින් වහන්සේගේ පියා අයි. ඩී මාටින් සහ අයි. ඩී සෝමාවතී මහත්මිය සහෝදරයන් වන මහේෂ් මදුවන්ත ,අයේෂ් සුදර්ශන පවුලේ ඥාතීන් හිතමිතුරන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.