(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

ද්විත්ව පුරවැසිභාවය දරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන්  ක්‍රියාත්මක විය යුත්තේ  පාර්ලිමේන්තුව නොව මැතිවරණ කොමිෂන්  සභාව  බව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

මැතිවරණ සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම කරනු ලබන්නේ මැතිවරණ  කොමිසම  හෙයින්  ඔවුනට  ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකි බවද  කතානායකවරයා කීවේය.

එසේම රටේ ඕනෑම පුරවැසියෙකුට ද්විත්ව පුරවැසිභාවය දරන  මන්ත්‍රීවරුන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව පවතින බව පැවසූ අබේවර්ධන මහතා මීට පෙර එවැනි ආකාරයේ අභියෝගයට ලක් කිරීම් සිදු වූ බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇති බව පැවසූ කතානායකවරයා ඒ හැර තවත් මන්ත්‍රීවරුන් සිටී දැයි තමා  නොදන්නා බවද  සඳහන් කළේය.

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට  කිසිවක් කළ නොහැකි බවද හෙතෙම පැවසුවේය.

පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය  නීති සකස් කිරීම බවත්  එම නීති ක්‍රියාත්මක කිරීම අදාල ආයතනවලට පැවරෙන වගකීමක්  බවත්  ඔහු වැඩිදුරටත් පැවසීය.