(ඩයනා උදයංගනී)

මෙරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි  දැනගැනීමට ක්‍රමවේදයක් නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

මෙරට මැති සබයේ සිටින ද්විත්ව පුරවැසියන් කවුදැයි කිවහැකි ලැයිස්තුවක් කිසිවෙක් සතුව නොමැති අතර, තමන් වෙනත් රටක පුරවැසියෙකු බව අදාළ අය විසින්ම ස්වෙච්ඡාවෙන්ම ප්‍රකාශ නොකළොත් ඔවුන් ද්විත්ව පුරවැසියන් දැයි දැනගැනීමේ කිසිම ක්‍රමවේදයක් කිසිම ආණ්ඩුවටවත් අනෙක් මන්ත්‍රීවරුන්ටවත් නොමැති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

2015 වසරේ ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීවරුවීම තහනම් කළ අවස්ථාවේ දෙමළ නෝර්වේ සහ කැනඩාවේ ද්විත්ව පුරවැසියන් වන ජාතික සන්ධානමන්ත්‍රීවරු 10 ක් සහ ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ශ්‍රී.ල.නි.ප ඇමතිවරයෙකු සිටින බවත් ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයකු තමන්ට පැවසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඔවුන් සම්බන්ධයෙන් වෙබ් අඩවිවලින් සහ එම රටවලින් තොරතුරු සොයාගැනීමට උත්සාහ කළත් කිසිම රටක් තමන්ගේ පුරවැසියන් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන්නේ හෝ තුන්වන පාර්ශවයකට ලබා දෙන්නේ නැතැයි ද ගම්මන්පිල මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (25) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු සිවුදෙනෙකු හැර අන් සියළුම දෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ 20 වන සංශෝධන සම්මත වීමට පෙර බැවින් දැන් පාර්ලිමේන්තුවේ සිටින බව කියන ද්විත්ව පුරවැසියන් ද්විත්ව පුරවැසිකම සඟවා වංචනිකව පාර්ලිමේන්තුවට ආ අය බවත්, ඔවුන් එය හෙළි කරනු ඇතැයි කවුරුන් හෝ සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් කී ගම්මන්පිල මහතා ද්විත්ව පුරවැසියන් අල්ලා ගැනීමට උපක්‍රමයක් සෙවිය යුතු බව ද පැවසීය.

එසේ නොකර ඔවුන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද මන්ත්‍රීවරයා කීය.