(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18)පැවසීය . 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල  ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවය අමතමිනි.

මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන   ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.