මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.මෙම ගිණුමේ ඩොලර් බිලියනයක් පමණ තැන්පත් කර තිබෙන බව පැවසුනු අතර එය එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගෙන සිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින්ව ප්‍රීතියට පත් කිරීමට සමත්වූ පුවතක් වුනි.එනිසාවෙන්ම මේ සම්බන්ධ පරීක්ෂණ කටයුතු ආරම්භවූයේ එම සමයේ සිටමය.
මෙම කටයුතු භාරකෙරුණේ මානව හිමිකම් ක්‍රියාධරයෙක් සහ ට්‍රාන්ස්පිරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානයේ ශ්‍රීලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන නීතිඥ ජේ.සී.වැලිඅමුණ මහතාටය.වත්මන් රජයේ වංචා හා දූෂණ මර්දන පරීක්ෂණ කටයුතු වල වැඩිබර කරට ගෙන කටයුතු කරන්නේ ඔහුය.එමෙන්ම පසුගියදා පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රජය නියෝජනය කරමින් එහි කරුණු දැක්වූයේද ඔහුය.වැලිඅමුණ මෙම ගිණුම සම්බන්ධ පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළේ ආතර් කොනන් ඩොයිල් කතුවරයාගේ නවකතාවල එන ෂර්ලොක් හෝම්ස් විලාසයෙන් අතිශය රහසිතගතවය.ඔහු හෙළිකරගන්නා තොරතුරු මැතිවරණ ජය තහවුරු කිරීම සඳහා තුරුම්පුවක් ලෙස භාවිතා කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂාව වුනි.
නමුත් වැලිඅමුණගේ පරීක්ෂණ සාර්ථක ප්‍රතිඵල ලබාදුන්නේ නැත.ශ්‍රීලංකන් එයාර්ලයින්ස් දූෂණ සෙවීමට වරක් ඔහුට පැවරුණු අතර එම අවස්ථාවේදීද සාර්ථක ප්‍රතිඵල ලබාදීමට ඔහු අපොහොසත් විය.මේ සඳහා ඔහුට ගෙවීම් ලෙස රුපියල් ලක්ෂ 30 ක මුදලක් ලබා දී ඇති බව සඳහන්ය.වැලිඅමුණ ශ්‍රීලන්කන් සම්බන්ධයෙන් පිළියෙල කර තිබූ වාර්තාව කොළඹ පිළිගත් නීතිඥවරු අතරද කතාබහට ලක්වුනු අතර ඔවුන්ගේ මතය වූයේ එය නෛතික ලෙස පිළියෙල කළ වාර්තාවකට වඩා පදනම් විරහිත කරුණු වලින් අලංකාර කර තිබූ වාර්තාවක් බවය.වාර්තාවෙන් චෝදනා එල්ල කර තිබූවන් කිසිවෙකුවත් අධිකරණය හමුවට කැඳවුනේද නැත.ඒ මෙම වාර්තාව නීතිපතිවරයා අතටත්,පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවටත්,මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයටත් භාරදී තිබූ වාතාවරණයකය.
ඩුබායි ගිණුම ගැන තොරතුරු සොයාබැලීමේ නිල අවසරය ජනපති මෛත්‍රීපාල සිරිසේන වැලිඅමුණට ලබාදුන්නේය.ඊට අමතරව ඩුබායිහි පාලක මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම්ගෙන් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට අවසරය ලබාදෙන ලෙසද ජනපතිවරයා ඉල්ලා සිටියේය.මෙලෙස ලැබූ අවසරයෙන් වැලිඅමුණ ඩුබායි හා කොළඹ අතර අවස්ථා කිහිපයකදීම ගමනේ යෙදුනේය.ඔහුගේ පළමු රාජකාරිය වූයේ ඩුබායිහි අධිකරණයේදී ශ්‍රීලංකාව නියෝජනය කිරීමට එරටින් නීතිඥයින් සමාගමක් තෝරාගැනීමය.මේ කටයුත්ත වෙනුවෙන් කොපමණ මුදල් ප්‍රමාණයක් වැයව ඇත්දැයි සඳහනක් නැත.තමන් තෝරාගත් නීතිඥ සමාගමේ විශ්වසනීයභාවය ගැන ඔහු රජයේ ප්‍රබලයින්ටද සහතික විය.
ගිණුමේ මුදල් අපරාධ හෝ අයථා ක්‍රම වලින් උපයාගෙන ඇත්නම් එම මුදල් රාජසන්තක කිරීම දක්වා ඩුබායි බලධරයින් මෙහෙයවීමට තමන්ට හැකියාව තිබෙන බව එම නීතිඥ සමාගම අවධාරණය කළ බවද වැලිඅමුණ රජයට දැන්වීය.පරීක්ෂණ කටයුතු මෙසේ ඉදිරියට ක්‍රියාවට නැංවෙන අතරවාරයේ වංචා හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂිකා ඩිල්රුක්ෂි ඩයස් මහත්මියද,වැලිඅමුණ හා එක්වූවාය.ඇයගේ නිලය නිසා වෙනත් රාජකාරියක නියැළෙන අවස්ථාවකදී ඇයට ගෙවීමක් බලාපොරොත්තු විය නොහැකිය.මේ වන විට මෙම ගිණුම සම්බන්ධයෙන් විවිධ තොරතුරු නොයෙක් මාධ්‍යයන් පළ කරමින් තිබිණ.මේ කියන අති සුවිශේෂී පුද්ගලයාගේ තවත් පුත්‍රෙයක් සතු ගිණුම්ද මෙම බැංකුවේම තිබෙන බවත් පැවසිණ.
දේශපාලඥයින්ට තම ප්‍රතිවාදීන්ගේ තොරතුරු ලබාගැනීමේ මාර්ගයන් රැසක් තිබෙන බව අමුතුවෙන් කිවනොයුතු කරුණකි.මෙලෙසම ඩුබායිහි බැංකුවක තිබෙන ගිණුමක් ගැන විමර්ෂනයක් වත්මන් රජයේ මැදිහත්වීමෙන් සිදුවෙමින් පවතින බවට තොරතුරු එවක හිටපු රජයේ තවත් අති සුවිශේෂී පුද්ගලයෙකුගේ කණට යෑමට වැඩිකළක් ගතවූයේ නැත.වරක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගීව සිටි උත්සව අවස්ථාවකට මෙම පුද්ගලයාද පැමිණ සිටි අතර ඔහු එහිදී මේ පිළිඹද අගමැතිවරයාගෙන් විමසීය.එය හිටපු රජයේ ප්‍රබලයින් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයක් බව කී අගමැතිවරයා ඊට අමතර දෙයක් නොකීය.හිටපු රජයේ ප්‍රබලයෙක් වන මෙම පුද්ගලයා මෙසේ විමර්ෂණයක් පැවැත්වෙන බව දැනගැනීම යනු ගිණුමේ හිමිකාර පාර්ශවයද එය ගැන හොඳින් දන්නා බවයි.එනිසා වැලිඅමුණ සිතා සිටි පරිදි ඔහු සිදුකරමින් සිටි කටයුතු වල රහසිගතභාවයක් තිබූයේ නැත.අදාළ පාර්ශව දෙකම,එනම් රජය හා ගිණුම් හිමියා විමර්ෂණය ගැන හොඳින් දැන සිටියේය.මේ ගැන කිසිත් නොදැන සිටි කොට්ඨාශය වූයේ ජනතාවය.පසුගිය රජයේ වංචා හා දූෂණ ඇතැයි කියමින් බලයට පත්වූ වත්මන් රජයට වසරක් ගතවී ඇතත් එම චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිව ඇතැයි ඔවුහු චෝදනා කරමින් සිටියහ.
ඩුබායි ගිණුමේ තිබෙන මුදල් වලින් කොටසක් යුක්රේනයේ බැංකුවක ගිණුමකට යවා ඇති බවට නිල තොරතුරු ගෙවුණු සතිකිහිපයේදී රජයට ලැබිණ.නිල නොවන ආරංචි වලින් සීෂෙල්ස් හා බහාමාස් වල බැංකු වලටද මෙම ගිණුමෙන් මුදල් යවා ඇති බවද කියැවිණ.මෙනිසා රජය තීරණය කළේ බැංකු ගිණුමෙන් ඉදිරියට මුදල් ගනුදෙනු සිදුවීම අත්හිටුවීමටත්,එසේ ඉතිරිව ඇති මුදල් ශ්‍රීලංකා රජය වෙත ලබාගැනීමටත් අවශ්‍ය නෛතික පියවර ගැනීමට ගිණුමේ විමර්ෂණ කටයුතු වෙනුවෙන් තෝරාගෙන සිටි ඩුබායි නීතිඥ සමාගමේ නීතිඥවරුන් මෙහෙයවීමටය.පසුගිය සතියේ දේශපාලන තීරුවෙන් අනාවරණය කර තිබූ ආකාරයට එම නීතිඥවරු ඒ සඳහා අවශ්‍ය පියවර ගත්හ.බ්‍රහස්පතින්දා පැවැති නඩු වාරයෙන් පසු ඩුබායි නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිඹද විමසීමට නඩුව නැවත ඉරිදා දිනයේ කැඳවීමට තීරණය විය.
ඩුබායිහි ඉරිදා දිනය සැළකෙන්නේ සතියේ පළමු දිනය ලෙසය.එහි වෙසෙන්නෝ නිවාඩු දින ලෙස සළකන්නේ සිකුරාදා සහ සෙනසුරාදා දෙදිනය.මෙනිසා බොහෝ වැදගත් කටයුතු ක්‍රියාවට නැංවෙන්නේ ඉරිදා දිනයේ සිටය.සාමාන්‍ය අවස්ථාවකදී නඩු වාරයන් ගැන තොරතුරු මහජනතාවට දැනගැනීමට හැකියාව තිබුණද මෙම නඩුව ඇසීම සිදුවූයේ රහසිගතවය.
ඉරිදා පැවැත්වුණු නඩු විභාගයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් වැලිඅමුණද,අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂිකා ඩිල්රුක්ෂි ඩයස් මෙනෙවියද, ඩුබායි නීතිඥ සමාගමෙන් සපයා තිබූ නීතිඥවරු පිරිසද සහභාගීවූහ.නඩු විභාගයට සහභාගීව සිටි එරට නීතිපතිවරයා පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව ගෙනහැර දැක්වීම ශ්‍රීලංකා නියෝජිතයින් දෙදෙන තරමක් මවිතයට පත්කිරීමට සමත්වූවක් වුනි.වැලිඅමුණට ඔහුගේ විමර්ෂණ වල ප්‍රගතිය සම්බන්ධයෙන් රජයේ ප්‍රබලයින්ව දිනපතා දැනුම්වත් කිරීමට උපදෙස් දී තිබිණ.සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන පරිදි ඔහු එසේ යෙදුණු එක් දුරකථන ඇමතුමකදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුවත්පත් වාර්තාව නිසා ඩුබායි අධිකරණය නඩුව,අපරාධ නඩුවක් ලෙස නොව සිවිල් නඩුවක් ලෙස විභාගයට ගනු ඇතියි සිතිය හැකිබව කියා ඇත.ඔහු මෙවන් නිගමනයකට එළැඹියේ කෙසේදැයි පැහැදිලි නැත.
‘එයා එහෙම කියනවානම් මාධ්‍ය ස්ත්‍රී දූෂණයක් වාර්තා කළහමත් ඒකට පැවැත්වෙන නඩුව අපරාධ නඩුවක් හැටියට නැතිව සිවිල් නඩුවක් හැටියට විභාගයට ගන්න අධිකරණය කටයුතු කරන්න ඕනානේ? ඒත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ.‘
වැලිඅමුණගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ප්‍රබලයෙක්ගේ සහයකයෙක් සන්ඩේ ටයිම්ස් හා කීය.
නමුත් වැලිඅමුණගේ අසාර්ථකවීම පසුපස තිබූ සැබෑ හේතුව අනාවරණයවීමට වැඩි කාලයක් ගතවූයේ නැත.ඩුබායිහි විනිසුරුවරයා බැංකු ගිණුම අත්හිටුවන ලෙස හා මුදල් ශ්‍රීලංකාව වෙත ලබාදෙන ලෙස ශ්‍රීලංකා රජය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.විනිසුරුවරයාගේ තීන්දුවට ප්‍රධාන කොටම හේතුවී ඇති බව පැවසෙන්නේ එරට නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් කර තිබෙන කරුණු දැක්වීමයි.ගිණුම් හිමි තරුණ දේශපාලඥයා එම ගිණුමේ තැන්පත් කර ඇත්තේ අයථා ක්‍රම හා අපරාධ වලින් උපයාගෙන ඇති මුදල් නම් ඔහු සම්බන්ධයෙන් ශ්‍රීලංකා බලධරයින් මෙතෙක් පරීක්ෂණයක් ආරම්භ කර නොමැත්තේ ඇයිදැයි ඔහු විමසා තිබේ.එනිසා ශ්‍රීලංකා රජය කරන මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ යුතුයැයි ඔහුගේ අදහසවී ඇත.නඩුවේදී මෙවැනි බාධයක් මතුවන්නට ඇති හැකියාව වැලිඅමුණගේ අවධානයට ලක්නොවූවා වන්නට ඉඩ ඇත.මෙම තරුණ දේශපාලඥයා සම්බන්ධ දූෂණ හා වංචා පරීක්ෂණ කටයුතු සිදුකරන්නට ශ්‍රීලංකා බලධරයින්ගේ අවධානය යොමුව තිබෙන්නේ දැන්ය.වංචා හෝ දූෂණ විමර්ෂණ කොමිසම ඉදිරි දිනකදී මෙම දේශපාලඥයා කැඳවා ප්‍රශ්න කරනු ඇතැයි තොරතුරු ඇත.නඩුව විභාගයට පෙර මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකාවේ බැංකු විශේෂඥයින්ගෙන් සහ වෙනත් වෘත්තිකයින්ගෙන් විමසීමට රජය කටයුතු කළේදැයි යන්නද ගැටලුවකි.
වැලිඅමුණ හා ඔහුගේ සහායිකාව අඟහරුවාදා දිවයිනට පැමිණියහ.සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට ලැබුණු ආකාරයට රජයේ බොහෝ අමාත්‍යවරු පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් හෙළිකෙරුනු තොරතුරු ගැන රජය පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇතැයි යන මතයක සිට ඇත.වංචා හා දූෂණ මර්දනය කරන බව කියමින් තමන් පත්වූවත් මේ දක්වාම සැළකිය යුතු කිසිවත් කරගත නොහැකිවී තිබීම නිසා තමන්ද,රජයද ක්‍රමයෙන් ජනතාව අතරින් ප්‍රතික්ෂේපව යමින් තිබෙන බවත් ඔවුන් කියා ඇත.එනිසා හොඳම දෙය වන්නේ මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයෙන් හෙළිවුනු කුඩා තොරතුරක් හෝ ජනතාව හමුවේ අනාවරණය කිරීම බව ඔවුන්ගේ අදහසවී තිබේ.අපට දැනගැනීමට හැකිවුනු අයුරින් ජනපති සිරිසේන පෞද්ගලිකවම වැලිඅමුණ අමතා විමර්ෂණය ගැන තොරතුරු මාධ්‍ය හමුවක් පවත්වා ලබාදිය හැකිදැයිද විමසා ඇත.
නමුත් එයට වැලිඅමුණ ලබාදී ඇත්තේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.
‘එහෙම කළොත් මේ කරලා තියෙන දේවල් වලිනුත් වැඩක් නැතිවේවි.‘ ඔහු කියා තිබේ.
මේ සම්බන්ධයෙන් විමසීමට වැලිඅමුණ සම්බන්ධ කරගැනීමට නොයෙක් අවස්ථාවන්හිදී උත්සාහ කළද ඒ කිසිවක් සාර්ථකවූයේ නැත.ඔහුට යැවූ කෙටිපණිවුඩ වලටද පිළිතුරු නොලැබුණි.ඔහු මෙවන් පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයිදැයි ගැටලුවකි.
කෙසේවුවත් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බැංකු ගිණුම සම්බන්ධ තොරතුරු කිහිපයක් මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.මුලින්ම මෙම ගිණුම ගැන තොරතුරු අනාවරණය කළේ තමන් බවත් ඔහු කීවේය.
බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රීලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර උපදේශක කටයුතු පිළිඹද ඒකාබද්ධ කමිටුවක් ඇතිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය.මෙහිදි පසුගිය සතියේ සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව උපුටා දක්වමින් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එහි සඳහන් තොරතුරු අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුත් නොදන්නා බවත් මේ පිළිබද සියලුදෙනාව දැනුම්වත් කළ යුතු බවත් කියා සිටියේය.අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුත් ඩුබායි බැංකු ගිණුම සම්බන්ධයෙන් සිදුවෙමින් පැවතුනු විමර්ෂණයන් ගැන නොදැන සිටි බව හෙළිවූයේ මෙම අවස්ථාවේදීය.එයට පිළිතුරු දුන් විදේශ අමාත්‍යවරයා මෙම ලිපිය පළවීම ශ්‍රීලංකාවට හිතකර තත්ත්වයක් ඇතිනොකළ බව කියා සිටියේය.
‘මේ විමර්ෂණය සිදුවූයේ රහසිගතව.මේක කොහොමද මාධ්‍ය වලට ගියේ කියලා අපි හොයලා බැලුවා.එයින් පෙනී ගියේ මේ තොරතුරු ලැබිලා තියෙන්නේ අපෙන් නෙවෙයි,ඇමරිකාවෙන් කියලා.‘ ඔහු කීය.
මේ සම්බන්ධයෙන් ජනතාව අමතා ප්‍රකාශයක් කළ යුතුයැයි රණවක අමාත්‍යවරයාගේ අදහස වුනි.අගමැති වික්‍රමසිංහ මහතාද ඊට අනුමැතිය පළකළේය.නමුත් විදේශ අමාත්‍ය සමරවීර එසේ ප්‍රකාශයක් සිදුකිරීම ප්‍රතික්ෂේප කළේය.
පේරු හි ලීමා නුවර ලෝක බැංකු හමුවකට සහභාගීවීමට දිවයිනෙන් බැහැරව ගොස් සිටි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා දිවයිනට පැමිණියේ කැබිනට් හමුව පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදීමය.ඒ පැමිණි වහා ඔහු ගියේ කැබිනට් හමුවට සහභාගී වීමට ජනපති ලේකම් කාර්යාලයටය.මෙම තරුණ දේශපාලඥයාට අමතරව තවත් පුද්ගලයින් හත් දෙනෙක් සතුව ඩුබායි බැංකු ගිණුම් සතුබව ඔහු කීවේය.ඔවුන්ගේ නම් ඔහු හෙළිකළේ නැත.එයින් එක් පුද්ගලයෙක් බව පැවසුනේ මෙම තරුණ දේශපාලඥයාගේ සොහොයුරෙකි.තවත් පුද්ගලයෙක් වූයේ රජයේ අනුදැනුම ඇතිව රජය වෙනුවෙන් වෙළද ගනුදෙනු වල යෙදුණු ආයතතන ප්‍රධානියෙකි.ඔහුගේ නම ගෘහස්ත ගෑස් සම්බන්ධ ආන්දෝලනාත්මක ටෙන්ඩර කිහිපයකටද ඈඳී තිබෙන්නකි.ඔහුගේ ගිණුමේ ඩොලර් ලක්ෂ 87 (රුපියල් 12,2248,050) ක් ඇතිබව පැවසුණි.හිටපු ජනපතිවරයාගේ කාර්යාලයේ සිටි ප්‍රබල නිලධරයෙකුද මෙම පුද්ගලයින් අතර සිටී.ඔහුගේ ගිණුමේ ඩොලර් ලක්ෂ 1680 (රුපියල් 236,0652,000) ක් ඇති බව සඳහන් විය.තවත් පුද්ගලයෙක් හිටපු ජනපතිවරයාගේ ළගම හිතවතෙක් බව පැවසිණ.ඔහුගේ ගිණුමේ තැන්පත් කර ඇති මුදල ඩොලර් ලක්ෂ 5180 (රුපියල් 727,8677,000) ක් බව කියැවුණි.ගිණුම් වල තැන්පත් කිරීමට මුදල් රටින් රට රැගෙන ගොස් තිබෙන්නේද මේ පුද්ගලයා බව සඳහන්ය.ඒ එවක ඔහු සතුව තිබූ රාජ්‍ය තාන්ත්‍රික බලතල යොදාගනිමිනි.
බැංකු කටයුතු සම්බන්ධයෙන් හා ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ඩුබායි ප්‍රකටය.මෙනිසාම එරට ආයෝජකයින්ගේ තෝතැන්නකි.දකුණු ආසියා කලාපයේද,නිරිත දිග ආසියා කලාපයේද දේශපාලඥයින්,රජයේ නිලධරයින්,සහ ව්‍යාපාරිකයින් ඩුබායිහි නොයෙක් ආයෝජනයන් සිදුකර ඇත.විදෙස් බැංකු ගිණුම් පවත්වාගැනීමට ඩුබායි බැංකු සිදුකරයි.මෙසේ පවත්වාගැනෙන ගිණුම් වල රහසිගතභාවය සුරැකීමටද ඔවුහු කැපවී සිටිති.එසේ වුවත් සිදුවන බැංකු කටයුතු පූර්ණ ලෙස අධීක්ෂණය කෙරෙන රාජ්‍ය ආයතන හා වැඩසටහන් පද්දතියක්ද ඩුබායිහි ක්‍රියාත්මකය.
මෙවන් වාතාවරණයක කිසියම් බැංකු ගිණුමක් අත්හිටුවන්නැයි ඩුබායි බලධරයින්ගෙන් එක්වනම ඉල්ලා සිටීමට රජය කටයුතු කිරීම අනුමත කළ නොහැක.සැකකටයුතු මුදල්
ගනුදෙනු සිදුවන්නේ නම් ඒ ගැන විමසිලිමත්වීමත් අවශ්‍ය පියවර ගැනීමත් රජයක් සතු වගකීම් බව සැබෑය.නමුත් මෙතැනදී සිදුවිය යුතුව තිබුණේ ඩුබායිහි මුදල් ගනුදෙනු සහ බැංකු කටයුතු සිදුවන ආකාරය හොඳින් අධ්‍යනය කර පියවරක් ගැනීමය.මේ සම්බන්ධයෙන් විමසීමට අදාළ රාජ්‍ය ආයතනයන් හා ඇමතිවරුන් සම්බන්ධ කරගත්තද ඉන් ඵලක් නොවීය.ඩුබායි ගිණුමේ විමර්ෂණයේ තොරතුරු වැලිඅමුණට හා ඔහු සේවයට යොදවාගත් ඩුබායි නීතිඥ සමාගමට පමණක් සීමාවී තිබීම මීට හේතුව වුනි.
බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළ රහසිගත විමර්ෂණයේ ඇතැම් තොරතුරු සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්න හෙළිකළේය.දැනට කිසිවෙකුගේවත් නම් සඳහන් කිරීමේ හැකියාවක් නොමැති බවද ඔහු කීවේය.පහත දැක්වෙන්නේ අමාත්‍යවරයාගෙන් මාධ්‍යකරුවන් ඇසූ ප්‍රශ්න කිහිපයක් සහ ඔහු ඒවාට ලබාදුන් පිළිතුරුය.
ප්‍රශ්නය - ශ්‍රීලංකාවේ ඇතැම් දේශපාලඥයින් සතු බව කියන ඩුබායි බැංකු ගිණුම් ගැන වාර්තා තිබෙනවා.මේ ගැන කියන්න පුලුවන්ද?
පිළිතුර - මතක ඇති මේ බැංකු ගිණුම් ගැන මුලින්ම තොරතුරු හෙළිකළේ මම බව.ඒ හෙළිකරපු දේවල් තමයි අද මතුවෙමින් තිබෙන්නේ.නමුත් දැන් මේක ඒවා ගැන කතාකරන්න කාලය නොවෙයි.දැනටමත් වුවමනාවටත් වඩා මාධ්‍ය වාර්තා මේ ගැන පළවෙලා තියෙනවා.මට කියන්න තියෙන්නේ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා කියලා විතරයි.පුද්ගලයින් 8 දෙනෙක්ගේ බැංකු ගිණුම් ගැන අපි ගාව තොරතුරු තියෙනවා.අපි දන්නවා ගිය ඉරිදා පැවති නඩු විභාගයේදී මොනවාද වුනේ කියලා.එතනදී ලංකාවේ පලවෙන පුවත්පතක දේශපාලන තීරුවක් ඔවුන් අපේ නියෝජිතයින්ට ඉදිරිපත් කරලා තියෙනවා.ඔවුන් අහලා තියෙන්නේ මේච්චර තොරතුරු මාධ්‍ය වලට ලබාදුන්නේ ඇයි කියලා.අපිට එච්චර හොඳ නැති තත්ත්වයක් එතන ඇතිවෙලා තියෙන්නේ.
ප්‍රශ්නය - නාමල් රාජපක්ෂ කියලා තියෙනවා මේ ගිණුම ඔහුගේ නොවේය කියලා?
පිළිතුර - අපි කවුරුවත් කියලා තියෙනවාද ගිණුම ඔහුගේ කියලා? ඇයි ඔහු විතරද රාජපක්ෂ පවුලේ ඉන්නේ? ඇයි මේ කලබල වෙලා.අනිත් රාජපක්ෂවරු ඔය සද්ද නැතිව ඉන්නේ.දැනට ඔහුව නම් කරලා නැහැ.අපි ටිකක් ඉඳලා බලමු.විමර්ෂණ කටයුතු දැන් සිදුවෙනවා.ගිණුම් අයිති කාටද කියන එකයි ඒ ගිණුම් වල කොච්චර මුදල් තියෙනවාද කියන එකයි අපට ඉක්මනටම දැනගන්න පුලුවන් වේවි.
ප්‍රශ්නය - ඔබ කියනවා ගිණුම් 8 ක් තියෙනවා කියලා.ඒ ගිණුම් කාටද අයිති කියලත් ඔබ දන්නවාද?
පිළිතුර - අපි ඒ අය ගැන කතා නොකර ඉදිමු.විමර්ෂණ කටයුතු දවස් කීපයකින් ඉවර වේවි.එතකොට කියන්නම්.
ප්‍රශ්නය - මේ ගිණුම් වල කොච්චර සල්ලි තියෙනවාද?
පිළිතුර - එක ගිණුමක ඩොලර් බිලියන 1.086 (රුපියල් කෝටි 14000 කට ආසන්න මුදලක්) ක්,තවත් ගිණුමක ඩොලර් බිලියන 1.8 (රුපියල් කෝටි 25000 කට ආසන්න මුදලක්) ක් තවත් එකක ඩොලර් මිලියන 500 ක්. ( රුපියල් 702,575,000)
ප්‍රශ්නය - මේ ගිණුම් අත්හිටුවලාද තියෙන්නේ?
පිළිතුර - අපි ඉල්ලීමක් සිදුකර තිබෙනවා.මුදල් රාජසන්තක කරන්නඅවශ්‍ය නීති පියවර ගන්නත් බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය - ඔවුන් කීවොත් සල්ලි ඔවුන්ගේ නොවේ කියලා,එතකොට ඒවා අයිති වෙන්නේ රජයටද?
පිළිතුර - මගේ ගිණුමට කවුරුහරි මුදල් දානවනම් ඉතින් කොච්චර හොඳයිද.ඇත්තටම කවුරුහරි ඉදිරිපත්වෙයිද දන්නේ නැහැ මේ දවස් වල නාමල් රාජපක්ෂට එච්චර හොඳ නැති හින්දා මම එයාට ආධාරයක් කියලා ඩොලර් බිලියනයක් එයාගේ බැංකු ගිණුමට දැම්මා කියලා.
ප්‍රශ්නය - ඔය පුද්ගලයින් මේ ඔවුන්ගේ ගිණුම් නොවේ කියලා කියනවානම් ඒ කියන්නේ ඔවුන්ට මේ මුදල් වුවමනා නැහැ කියන එකද?
පිළිතුර - කොහොම වුනත් එයාලට මුදල් ලැබෙන්නේ නැහැ.ඒ මුදල් අයිති රටට.
ප්‍රශ්නය - ඒ වගේ මුදල් අපේ රටට ගෙන්වාගත හැකි නීතියක් ඒ රටේ තියෙනවාද?
පිළිතුර - මෙතන ගනුදෙනු වෙලා තියෙන්නේ ඩොලර් වලින්.ඩොලර් වලින් සිදුවෙන සියලුම ගනුදෙනු ඇමරිකාවේ අධීක්ෂණය යටතේයි සිදුවන්නේ.මේ හින්දා අපට හැකියාවක් තියෙනවා ඇමරිකාවේ සහය ඇතිව මේ මුදල් ගනුදෙනුව සිදුවෙලා තියෙන්නේ කොහොමද කියලා හොයාගන්න.නමුත් මේක කල් ගතවෙන වැඩක්.මොකද ලෝකයේ ඩොලර් ගනුදෙනු සිදුවෙන්නේ හිතාගන්නවත් බැරි ගණන් වලින්.ඇමරිකාව අපට දැනුම්දීලා තිබෙනා මේ සම්බන්ධයෙන් විමර්ෂණ සිදුවන බව.ඉදිරියට වැඩි විස්තර හෙළිවේවි.
ප්‍රශ්නය - මේ කියන ගිණුම් වල හිමිකරුවෝ වෙන්නේ අර ඉස්සෙල්ලා කියපු අයද?
පිළිතුර - අපට තව ටිකක් කල් දෙන්න.
යහපාලනය පොරොන්දුවූ වත්මන් රජය මෙම විමර්ෂණය ගැන තොරතුරු ජනතාවගෙන් සැඟවිය නොයුතුව තිබුණි.එමෙන්ම විමර්ෂණ කටයුතු විනිවිදභාවයක් ඇතිව සිදුකිරීමට වෘත්තිකයින්ගේ සහය ලබාගත යුතුව තිබුණි.නමුත් ඒ කිසිවක් සිදුව නොමැත.රජය මෙවන් කටයුතු සම්බන්ධයෙන් මීට වඩා වගකීමක් ඇතිව කටයුතු කළ යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ....(ම)
එය එසේ නම් පරීක්ෂණ කළ යුතුමය... වැරදිකරුවන්ට දඬුවම් දිය යුතුමය.....නමුත් අනෙක් සෑම දෙයක් මෙන් එජාප ආණ්ඩු සිදුකරන්නේ හත්පොලේ ගාගැනීමය...(බ)
මේ රටේ පසුගිය අවුරදු 40 පුරාම රාජ්‍ය ආයතන පුද්ගලීකරණයේදී , යුද්ධය සඳහා බිලියන ගණන් වටිනා ආයුධ ගැනීමේදී කොයිතරම් ප්‍රමාණයක් දුෂණයන් සිදුවුණාදැයි ඒ කාලයේ පුවත්පත් බලන්නෙකුට පහසුවෙන් තේරුම්ගත හැකියි.එහෙත් ඇමරිකානු බලදරයින් හදිසියෙන්ම පසුගිය ආණ්ඩුවේ ගනුදෙනු ගැන තමන්ගේ උනන්දුව පෙන්වන්නේ ඇයි කියලා මීට මාස කීපයකට පෙර අපි දැනගත්තා.ඉන්දියාවට සහ ඇමරිකාවට ඉතා තදබල උවමනාවක් තිබෙනවා "පෝට් සිටි " ව්‍යාපෘතිය නතර කිරීමට. මොකද ඉන්දියානු සාගර කලාපයේ චීනයේ බලපෑම අවම කිරීමට. නමුත් නිත්‍යානුකූල ආකාරයට. රජයක් අත්සන් කළ එම ගිවිසුම අවලංගු කළහැකි එකම විදිය එම ගනුදෙනුව සිදුකිරීමට මුල්‍ය අල්ලස් දුන් බවට සනාථ කිරීමෙන් පමණයි.මේ ඇමරිකානු උනන්දුව මෙන්න මේ නිසයි (නි)
සොබා දහමින් නියම දඩුවම නියම වෙලාවේදී ලැබේවි. (බ)
එක ගිණුමක ඩොලර් බිලියන 1.086 (රුපියල් කෝටි 14000 කට ආසන්න මුදලක්) ක්,තවත් ගිණුමක ඩොලර් බිලියන 1.8 (රුපියල් කෝටි 25000 කට ආසන්න මුදලක්) ක් තවත් එකක ඩොලර් මිලියන 500 ක්. ( රුපියල් 702,575,000) ........ මල්වට්ටියට,පිරිත් නුලට යට වෙලා කොහොම කෑමක් කාල තියෙනවද? (බ)
ලංකාවේ ඔය පවුලට සලකන්නේ " මෙතෙක් බිහිවෙච්චි හොඳම දේශප්‍රේමියෝ " කියලනේ. මේවට කියන්න වචන නැහැ. ඉන්දියාවේ වගේ නම්, ජනතාවම එලව එලව ගල් ගහලයි මරන්නේ ඔය "රටකාපු ජාතිවාදී දේශද්‍රෝහීන්ට" (බ)
ඔය කාලා තියන සුපිරි කෑම නැවතත් දුප්පතාගේ පිඟානට වැටෙන විදිහක්,සකස් කරන්න ඉතින් සක්කරයාට තමයි කියන්න තියෙන්නේ.අනේ අපොයි....! (බ)
දැන් මේ කියන දූෂණ දඩයක්කාරයා දෙපැත්ත කන පොරක් වගෙයි පේන්නෙ. ඩුබායි තිලක් කියන විදියට සොබාදහමට වැඩේ බාරදීලා නිකන් හිටියොත් කාටත් ලාබයි වගේ. මොකද කෝටි ගනන් සල්ලි හම්බ කරපු මිනිහට ඒව යට ගහන්න ලක්ෂ ගණන් වියදම් කරන්න පුලුවන් කියල මතක තියාගන්න. (බ)
තම නොහැකියාව වසාගන්න තාමත් මඩ ගහනවා ඉවරයක් නෑ (ම)
මෙතන කිසිවෙක් මේ ලිපිය කියවා නැති බව අදහස් වලින් පැහැදිලි වෙනවා.සිද්ධිය හොඳින් තේරුම් ගෙන දොස් තබමු.එය අතිශයෝක්තියෙන් කුමක් හරි දෙයක් ලියනවාට වඩා වැදගත් . විමර්ශන කටයුතුවල තිබු ගැටළු සහගත තැන් ගැන කිසිම අදහසක් නැහැ.ඔය කියන අය සැබවින්ම වැරදි කරුවන් වූ දිනක අපි දොස් තබමු. විවේචනය කරමු. (බ)
මඩ ගහ ගහ හිට පල්ල. ඔය වගේ ලනු කන එවුන් තමයි ඡන්දෙ දුන්නේ. ඊලග ඡන්දෙ එනකල් මඩ ගැහිල්ල විතරයි රටට හුලං. මේ වගේ බොරු ඩුබායි ඔටුවන්ට හොදයි. (බ)
එතකොට බාප්පගේ ඒවා? (බ)
කුමාර, මෙවැනි හාස්‍ය රසයක් ඇති දේවල් නම් හුරු නැහැ තමයි. අපි මේ රජය පත්කළේ බොහොම වැදගත් විදිහට සහ දක්ෂ විදිහට මේ දේවල් කළමනාකරණය කරයි කියන සිතුවිලි ඇතුව. මේක මඩ ගැසීම සහ පළිගැනීම මුල් කරගෙන කිරීමට යාමෙන් මෙහි ඇති බරපතල ස්වභාවයට හානි වන අතර හොරුන් ඇල්ලීමට නොව ඔවුන්ට පැනයාමට අවශ්‍ය දේවල් වලට මඟ හෙළිවේ. මෙවැනි දේවල් වෘත්තිකයන්ට බාර දී දේශපාලන මෝඩයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් ඉවත් කළයුතුව ඇත. (නි)
තිලක්, ඩුබායිමද ඉන්නේ? මෙහෙ බැංකු නීති දන්නේ නැද්ද? මෙහෙ ඔය උඩ කියල තියන ඒවගෙන් කීයද කරන්න පුළුවන්. මගේ දැනුමේ හැටියටනම්, ඔය තරම් දේවල් කරන්න බෑ. ලස්සන කථාවක්. (බ)
නොහැකියාව වසාගන්න තාමත් මඩ ගහනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)
කුමාර, ලංකාවේ සිංහල පාඨකයන්ට මඩගසන්නට එපා. මමත් සිංහල පාඨකයෙක්. හැබැයි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඒ වගේම මේ රටවල යන පරීක්ෂණාත්මක ප්‍රවෘත්ති කියවන සහ ඒවාට කරුණු සපයන එකත් මගේ රැකියාවේ කොටසක්. ඒ සමහර දැනුම මම ලබාගත්තේ ලංකාවේ ඉගෙනගෙනයි. මෙතන අපි මේ ලිපියට නෙමෙයි ගරහන්නේ, ඒකෙන් හෙළිකරලා තිබෙන කරුණු අනුව අපේ අදහස් පළකරන්නේ. ඔයයි අපේ දැනුම ගැන ගරහන්නේ. කරුණාකරලා ඒ ගැන හිතන්න. (නි)
වැලිඅමුණත් රහ අඳුරගෙන වගේ ..(බ)
චෝදනාවක් කරනකොට ඔප්පුකරන්න සාක්ෂි ඇතුව මූලික පරීක්ක්ෂණ වලින් පසුව කරන්න ඕනෑ. එතකොටයි මිනිසුන්ට රජයක් ගැන විශ්වාසය ඇතිවෙන්නේ. (නි)
එතකොට විමල් වීරවංශගේ ගෑනිගේ නඩුවට මොකද වුනේ. මේකේ ප්‍රතිපලත් ඒ වගේ වෙයිද? (බ)
යහපාල,තාමත් නඩුවක් හරි කැඳවා ගන්න පුළුවන් වුනේ එම මහත්මියට විතරයි. එ්ත් එ්ක මුල්‍ය වංචාවකට නොවෙයිනේ. (බ)
ඒ් වැෙඩත හබක්. (අ)
වැලිඅමුණ කියන්නේ එක්තරා විදිහක මඩ ගහන්නෙක්. 2014දි ඕස්ට්‍රේලියාවේ ඒබීසී හෝ එස්බීඑස් රූපවාහිණියේ හෝ සම්මුඛ සාකච්ඡාවකට ඔහුත් පාක්‍යසෝති සරවනමුත්තුත් සහභාගි වුණා. එහිදී ලංකාවේ යුද්ධයෙන් පසු සමාජයීය ප්‍රශ්න කතා කරා. සරවනමුත්තු සාධාරණව ප්‍රශ්න ගැන කතාකරා. වැලිඅමුණ ගහෙන් ගෙඩි එන්නා වාගේ එතනට අදාලත්වයක් නැතිව ලංකාවේ සියලු ප්‍රශ්නවලට මුල බොදුබල සේනාව කියන්න ගත්තා. සරවනමුත්තුත් සාකච්ඡාව මෙහෙයවූ තැනැත්තාත් දෙන්නාම පුදුම වුණා. කතාවත් එතනින් ඉවරවුණා. මොහු එන්ජිඕ වලින් යැපෙන්නෙක් බව අන්තර්ජාලයේ තිබුනා. (බ)
රාජපක්ෂවරුන්ට ඩුබායිහි ගිණුම් තිබෙන බවත්, ඒ ගිණුම් වල ඩොලර් මිලියන ගනන් සල්ලී තිබෙන බවත්, මේ ලිපියෙනුත් ගියවර ලිපියෙනුත් මනාව පැහැදිලිය. ඩුබායිහි එකදු ජාතික පුවත්පත්ක වත් මේ නඩුව ගැන වාර්තාව කර තිබුණේ නෑ. (බ)
මම කළේ, අපි කළේ කියා කියා කෑ ගගහ ඉන්නේ නැතුව කරන දේවල් කියන දේවල් ඔප්පු කළ හැකි ලෙස අපට කියන්න. ඔය එක එක ඔස්තාර්ලාගේ කතා අපිට වැඩක් නැහැ. මොන විකාරයක්ද මේක? අපේ සල්ලි හොරකම් කරලනම් ඒක රටේ නීතියට අනුව ඉක්මනින් ක්‍රියා මාර්ග ගන්න. අාපු දවසේ ඉඳල බොරු කයිය විතරයි. හත් පොලේ නෙවෙයි ඇගෙත් ගාල තමයි නවතින්නේ. හොරු ශෝක් එකට පැන ගනියි. ලිඳ ළඟ ගෑනු සංගමය වගේ රහස් කියා කියා මොකක්ද ඔබ තුමාල මේ කරන්නේ? (බ)
ලංකාදීප ජනතාව දැනුවත් කළාට ගොඩාක් පින්. ඔබගේ මාධ්‍ය සේවය ඉහළින් අගයමු. (නි)
මෙම සිදුවීම සම්බන්ධව, මිතුරන්ගේ දානමය පින්කම්වල ගෙවල්වල කාමරවල රහස් කථා පවත්වන සමහර ඇමතිවරුන්ගේ ප්‍රකාශ පිළිගනිමුද? පිළිනොගනිමුද? සැක සහිතද? (බ)
කාලයට ඉඩ දී බලමු ඇත්ත මොකක්ද කියල. එහෙම නැතිව කවුරු හරි කිව්ව පලියට කලබල වෙලා කෑ ගහන එක නම් මෝඩ කමක් කියලයි මගේ පුංචි මොලේට හිතෙන්නේ. (බ)
ඩිලාන් ද සිල්වා කියලා තිබෙනවා වැදගත් දෙයක්, ඩුබායිවල එහෙම දෙයක් වාර්තාවෙලා නැතිබව. සත්‍ය තොරතුරක් වශයෙන් කිසිදු පුවත් සේවයකින් වාර්තාකරන්නෙත් නැහැ. ඔහොම නඩුවක් තියෙනවද නැත්නම් අපිව අන්දනවාද, එහෙමත් නැත්නම් වැලිඅමුණ ආණ්ඩුවත් අන්දනවාද (බ)
ශිෂෙල් රටේ විදේශ ඇමතීම කියල තිබුන ලංකාවේ කිහිප දෙනෙකුගේ මුදල් සහ දේපල ශිෂෙල් රටේ තිබෙනවා.රාජ තාන්ත්‍රිකව ඉල්ලීමක් කළොත් ඒ ගැන සලකල සියලුම විස්තර දෙන්න පුළුවන් කියල.කෝ ඉල්ලනවද?මම නිකම්ද කියන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා අපේ රටේ ජනාධිපති කරව ගන්න නොලැබුණේ රටේ අවාසනාවට,අපේ අවාසනාවට සහ උපදින්න ඉන්න දරුවන්ගේ අවාසනාවට සහ රාජපක්ෂලාගේ වාසනාවට කියල. (බ)
මඩ මඩ මඩ ම තමා....(බ)
"රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කණ්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටක පුවත් පතේ සඳහන් අන්දමේ නඩුවක් විභාගයට ගැණෙන්නේ නැත."අන්තර්ජාලය. (බ)
තාජුඩීන්ගේ වාර්තාවත් තාම නැතුව ඇති නේද? මේ අයටත් පුළුවන් වැරදි හොය හොයා ඉන්න විතරයි. (නි)
තිලක්-ඩුබායි,ඩිලාන් ද සිල්වා මේක චබකුගේ පුතාගේ. දැන් මොකද කියන්නේ?කටවල් වැහිලද? (බ)
හැමදාම මේ වගේ දේවල් කිය කියා ජනතාව නොමඟ යවන එක තමයි සිදුවුණේ. දැන් අවුරුදකටත් කිට්ටු වුණා අල්ලපු හොරෙකුත් නැහැ (නි)
තිලක් ඩුබායි නේද ඉන්නේ.... ඔය අතේ තියන මඩ බාල්දි පැත්තකින් තියල බැරිද පොඩ්ඩක් අදාළ බැංකු පැත්තේ ගිහින් හොයල බලන්න...ඇත්ත නැත්ත මොකක්ද කියල....හුසේන් ....කළු සල්ලි නම් පිරිසිදු කරලා නැවතත් රටට ගන්න පුළුවන් වේවි කොහේ තිබුනත් ...ඊටවඩා පුත්තලම පැත්තේ ඉඳලම රට කන මැති ඇමතිවරුන්ට විෂයන් තිස් ගණනක් දීල දැන් අම්පාර පැත්තෙනුත් රට කාගෙන එනවා කියල ඇහෙනව නේද....එ්කත් පරම්පරාවට දෙන්න නේද...දිලාන් සිල්වා ...අපේ රටවල්වල කුණු ...හොයනවට වඩා වැඩ එයාලට තියනවා .....ඔත්තු ලැබිලත් වරද කාරයෙක් හරි හැටි අල්ලගන්න බැරි අපේ රටේ....ධන කුවේරයන් ගනුදෙනු කරන බැංකුවල ගනුදෙනු කරුවන්ගේ තොරතුරු ගන්න ..අපේ පඬිතවරුන්ට හැකි වුනොත් ලොකුදෙයක්..ඔය කෑගහන සමහරුත් බය ඇති තම තමන්ගේ වත ගොතත් එලියට එවි කියල.... (බ)
මෙහි කිසිම ගිණුම් ව්‍යාපාර විස්තර කිසිවෙකුටත් දෙන්නේ නැහැ වැලි ලනුවක් දීලා (බ)
තේරුම් ගන්න මේ කරන්නේ තනිකරම හිටපු ජනපතිගේ චරිතය සහාසික ලෙස විකෘති කර ඔහු දිනා දුන් දේවල් පරිභව කිරීමට මග පාදා ගැනීමයි. මහා මැතිවරණ සමයේදී තාජුදීන් ඝාතනය ඇදල අරගෙන මැතිවරණෙන් පස්සේ කිසිම සාක්ෂියක් නැතුවම වළලලා දැම්මා. මේකත් ඒ විදිහෙම මඩක්ම තමයි. ආයේ එකේ දෙකක් නැහැ. අනික මේ වංචා ගැන මාධ්‍ය හමු තියන එක්කෙනාගේ කෙරුවාව ඔය වගේම තමයි. හොරු අල්ලන්න යන්නෙත් හොරු වුනාම. මේක නිකන් විකට නාට්‍යක් වගේනෙ. (බ)
ප්‍රභූ පුතා කියන්නේ කාගේ හරි නමක්ද? කවුද අප්පා ඔය පුතා. කියන්නකෝ ආසයි දැනගන්න (බ)
මේවා ඉතින් අලුත් දේවල් නෙමෙයිනේ (නි)
මම නම් කියන්‍නෙ මේව බොරු. අපි අහල තියෙන්‍නෙ විදේශ මුදල් තැන්‍පත් කළ හැකි රටවල් හැටියට ස්විට්සර්ලන්‍තය සහ පැනමාවයි. ඩුබායිවල එහෙම තැන්‍පත් කළ හැකි බවක් නම් අපි දන්‍නෙ නැහැ. මුදල් ගනන් හිලව් කියන්‍න ඕනෑම කෙනෙකුට පුළුවන් (බ)
බලන්න. ඔය දෝරේ ගලාගෙන ගසාගෙන යන්නේ මඩවතුර නොව අපේ රටේ සරුසාර මහපොළවේ සරු පසයි. මට බයයි අපායටත් මේ මිනිස්සු බර වැඩිවෙයිද කියා (නි)
විමුක්ති කුමාරයට එල්ටීටීඊ එකෙන් ලැබුණු දායාද සේරම ඩුබායි වලද ? (බ)
මේ කතාව යි , මල මිනි ගොඩට ගත්ත කතාවයි , සිරි ලිය ගිණුමට වුණ දෙයි සේරම එකයි , මේ වගේ මාධ්‍ය සංදර්ශන තව කොතෙක් නම් බලන්න ලැබේවිද විකාර හරහා මේ ද්‍රෝහීන , රට පාවා දුන් , රණ විරුවන් පාවා දෙමින් ඉන්නා ආණ්ඩුව උතසහ කරන්නේ ජිනීවා පාවා දීමට එරෙහිව පෙළ ගැහෙන ජනතා හඩ යටපත් කිරීමට බව නොතේරෙන්නේ දේශපාලන පෙර පාසල දරුවන්ට පමණි , (අ)
කුමා ඒ සල්ලි වලින් තමා එංගලන්තේ මාලිගාව ගත්තේ , එංගලන්තේ ඉන්න කට්ටිය දන්නවා ඒ ගැන (අ)
ඔප්පු කරන්න බැරි අසත්‍ය ගණන් හිලවු කියමින් ජාතියේ සැබෑ වීරයාට මඩ ගැසීමයි කරන්නේ මෙයාල ඡන්දය දිනුවෙත් ඔයවිදියට මඩ ගහලනේ වැලිඅමුණල වගේ ඩොලර් කාක්කන්ට ඕවා හොඳට පුරැදුයි මේවා විශ්වාස කරල ජාතියේ සැබෑ නායකයාට මඩ ගහන නිවට සිංහලයොත් ඉන්නවනෙ (අ)
ලංකාවට සොරිම තමා ... (රේ)
බොරු මඩ ගහන්න ගිහිල්ල දැන් හත් පොලේ ගාගන දගලනවා . තාමත් ඕව විශ්වාස කරන අයත් ඉන්නවනේ . ඩුබායි තිලක් වතුර බාල්දියක් අරන් ගාගත්ත ඒවා හෝදන්න පටන් ගන්න (බ)
මුදල් තියෙනවා කියුවේ මසරග්ක් බැංකුවේ දැන් කියනවා නැෂනල් බැංකුවේ කියල හෙට කියයිද කොමර්ෂල් බැංකුවේ කියල මේ ඔක්කොම දොස්තරගේ මඩ (බ)
එයාර් ලංකා දුෂණ හොයන්න වැලි අමුණට ලක්ෂ 30ක් ගෙව්වනම් මේ වැඩේට කියක් ගෙවන්න ඇත්ද? අවුලක් නැහැ..තව මේ එන් ජි ඕ පප්පට පුදමු අපි ලක්ෂ ගානින් රට වෙනුවෙන් කළ මෙහෙවරට ..රාජපක්ෂවරු එලෙව්වට.(බ)
නූගත් දේශපාලකයන්ගේ තරම මේකෙන්ම පේනවා. සාමාන්‍යයෙන් ව්‍යාපාර කරන අරාබි ජාතිකයෙක් එක්ක ළග සම්බන්ධතාවයක් තිබුන කෙනෙක්වත් මේ සදහා යොදාගත්තනම් මෙහි ප්‍රතිපල ගන්න තිබුන. අන්තිමට ඔය ඩුබායි සමගම තමන්ගේ ගානත් අරගෙන තමන්ගේ රටේ තියෙන සල්ලි ටිකයි තමන්ගේ ගනුදෙනු කරුවයි දෙන්නම නීති ගත කරවනවා. (බ)
ලංකාවේ සිංහල පාඨකයන්ට මෙවෙනි ඉන්වෙස්ටිගේසන් ටයිප් අර්ටිකල් හුරු නැත. බොහෝ විට සිංහල සති අනන්ත පත්තර වල කියවන්නට තිබුනේ කලින් හිටපු රජතුමා අර " අරලිය ගහ මන්දිරේය එළවලු කොටුවෙන් ලපටි බණ්ඩක්ක කරලක් කඩාගෙන "චිරිස්" ගා හපා රස කර කර කා හැටි කියවන්ටය (බ)
මම නම් හිතුවා මෙහෙම වෙයි කියලා (නි)
මේවා සියල්ල මඩ ගහන්න, අපහාස කිරීමට කරන ඒවා කියා අලි දන්නවා. කවදාවත් ඔප්පු කිරීමට නොහැකි, මඩ දේශපාලනය (නි)
කීර්තිමත් බැංකු කිසිවිටෙකත් ගිණුම් වල රහස්‍ය බව හෙළිකරන්නේ නැත. එය බැංකුවට විශාල අපකීර්තියක්. ලෝකයේ ධනකුවේරයන් මෙවන් බැංකුවල මුදල් තැන්පත් කර තිබේ. මෙවැනි සිද්ධීයක් වුවහොත් ගිණුම්හිමියෝ මෙම බැංකුවේ මුදල් තැන්පත් කිරීම් හෝ ගනුදෙනු කිරීම් අත්හිටවනු ලබති. එම හේතුව් මත බැංකුවට අති විශාල මුදලක් ඉල්ලා නඩු දැමිය හැක (නි)
අනේ අපිත් උඩ බලාගෙන හිටියා මදැයි මේක හෙළිවෙනකම් (නි)
අපිට ප්‍රශ්න ඇතිව ඇත්තේ මේ රජය බලයට එනවිට කියපු විනිවිදභාවය දැන් නැති නිසා. අපි මහජනතාව ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙලා දැන්. (නි)
60 %ක් විතර අය තවම මේවා ඇත්ත කියලා පිළිගන්නවනේ? (නි)
තව කොපමණ කලක් අපි මේ කතා අහන්න ඕනෑද? (නි)
වැලිඅමුණ සී අය් එ් නියෝජිතයෙක් ,ඔවුන්ගේ ඕනේ එපා කම් කරන්නේ. ඔහු යන එන තැන පවා සී අයි ඩී එකෙන් ඔහු එන්න කලින් පරීක්ෂා කරලා ඔහුට ආරක්ෂාව සපයනවා.අපේ හරක් හිත ඉන්නේ එයා සන්තුවරයෙක් කියල. (අ)