(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය.
පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සන්තෝෂම්’ ලබන ‘ලිට්ල් ජෝන්ලා’ වශයෙන් හඳුන්වන වෙනත් ආයතනවල ප‍්‍රාථමික ගැනුම්කරුවන් පිළිබඳව විමසූ අවසථාවේදී 2016 වසරේදී කසුන් පළිසේන මහතාට එම සමාගමෙන් රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් ගෙවා ඇති බව හෙළි වූ අතර ඔහු ඒ බව කොමිසම හමුවේ පිළිගත්තේය.
2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි (සභාපති), ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරු හමුවේ සිදු කෙරේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ නැවත ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු දුන් කසුන් පළිසේන මහතා දුරකතන සංවාදවලදී ‘ලිට්ල් ජෝන්ලා’ යනුවෙන් හඳුන්වා ඇත්තේ පර්පචුවල් ටේරෂරීස් සමාගමෙන් ‘සංතෝෂම්’ ලබන වෙනත් ආයතනවල ප‍්‍රථමික ගැනුම්කරුවන් බව පිළිගත්තේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා - ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද?
පිළි. මා දන්නේ නැහැ.
ප‍්‍ර. ඔබ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප‍්‍රධාන ගැනුම්කරු හා එහි ප‍්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කළා නේද?
පිළි. ඔව්.
ප‍්‍ර. එහෙනම් ඒ ‘ලිට්ල් ජොන්ලා’ කවුද කියා ඔබ නොදැන සිටීමට හේතුවක් නැහැ නේද?
පිළි. මා දන්නේ නැහැ.
ප‍්‍ර. පර්පචුවල් ටේරෂරීස් සමාගම 2016 වසරේදී පාරිතෝෂික දීමනාව වශයෙන් ඔබට කොපමණ මුදලක් ගෙව්වාද?
පිළි. රුපියල් කෝටි 10ක පාරිතෝෂික දීමනාවක් මට ගෙව්වා.
ප‍්‍ර. 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගම වැඩිම පාරිතෝෂික දීමනාව ගෙව්වේ ඔබටද?
පිළි. ඔව්.
ප‍්‍ර. ඔබ 2016 වසරේදී පර්පචුවල් ටේරෂරීස් සමාගමේ වැඩිම පාරිතෝෂික දීමනාලාභියා වූ නිසා ‘ලිට්ල් ජෝන්ලා’ කවුරුන්දැයි යන්න ඔබ හෙළි කරන්නේ නැතැයි කියා මා යෝජනා කරනවා.
පිළි. මා ඒ යෝජනාව පිළිගන්නේ නැහැ.
කොමිසමේ සාක්කි විභාගය සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වේල හොයා ගන්න බැරි මිනිස්සු ඉන්න රටක මෙන්න නියම හොරු. දැන්වත් රජය මොවුන්ට දැඩි දඬුවම් දියයුතුයි. කෝටි 10 බෝනස්, කජු ඇටද? කොස් ඇටද?
" රුපියල් කෝටි 10 ක පාරිතෝෂික දීමනාවක් " මෙම ප්‍රමාණයක් එක්කෙනෙකුට ලැබුනේනම් මෙම හොර ආයතනයට කොපමණ ලාභයක් ලබන්නේද යන්න අපට නම් සිතීමටවත් නොහැක. මෙවැනි ජාතික අපරාධ වලට, මහා මංකොල්ලයට යන්තමින් හෝ සම්බන්ධ වුණු අයට ජාති ජාති වන්දි ගෙවන්න වෙනවා.
මේකත් දත් දොස්තරගේ එක ළුෑණු බිකක් වෙන්නැති.
මේ කෝටි 10 ට ආදායම් බදු ගෙව්වාද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලනවාදැයි දැන ගැනීමට කැමතියි.
මෙච්චර වංචාවක් වෙලා තියෙනවා කියලා පෙනී පෙනී මේ වගේ මිනිස්සු පැත්තටමනේ කතා කරන්නේ.
තවම මේ මිනිස්සු එළියේ ඉන්නේ කොහොමද??
අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී මේ ගනුදෙනුවේ කිසිම වැරැද්දක් වෙලා නෑ කියල කිව්වා වගේ යාන්තමට මතකයි වගේ දැනෙනවා. පාර්ලිමේන්තුවට බොරු කිව්ව අයව කොමිසමට ගෙන්නන්න බැරිද?
මේකේ වරදක් නේ..... ඕන කෙනකුට උසාවි යන්න පුළුවන්.....
මොහුව අල්ලලා හිරේ දාන්න පුළුවන් ආදායම් බදු වංචා කර රජයට ගෙවිය යුතු මුදල් නොගෙවීම මත. ඔට්ටුයි මෙයා ඔය කෝටි 10 ආදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්නලා නැහැ . එහෙම වංචාවක් කරන කෙනෙක්ට වෙන වංචා කරන එකසුලු දෙයක්....
බෝනස් වැඩිම උනොත් අවුරුද්දකට දෙපාරක් දෙනවා. එක පාරකට මාසික පඩිය වගේ දෙගුණයක් තමයි දෙන්නේ. එහෙම බැලුවොතින් මේ මනුස්සයාගේ මාසික වැටුප රුපියල් කෝටී 2 කට වැඩියිනේ. මං ආණ්ඩුවේ ජේ්‍යෂ්ඨ විශේෂඥයෙක් වෙලත් මාසෙකට ලැබෙන්නේ 125000/- විතරයි.
රවී කරුණානායකට කියක් ගියාද දන්නේ නැත .
මෙම ආයතනය පුද්ගලික ආයතනයක්. මහ බැංකුව යටතේ පාලනය වන්නක් නොවෙයි. සිදුවීම කුමක් වුවත් පුවතේ මහ බැංකුවේ නාම පුවරුව නැතුව මෙම ආයතනයේ නාම පුවරුව දැම්මා නම් සාධාරණයි.
ඇත්තම කියනවා නම් හරිම දුකයි අපේ රට ගැන. මේක පැහැදිලිවම මහා මුදල් මංකොල්ලයක්. අපිට සිතා ගැනීමටවත් බැරි තරමේ මුදල් කන්දරාවක් මෙහෙම අමු අමුවේ මල්කොල්ල කාලා තියෙද්දී. මේ රටේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? මේ කරපු ජාතික අපරාධයට ඇලෝසියස් ට කවදාවත් සැනසිල්ලක් නම් උදාවෙන්නේ නැහැ...
ඒ අවුරුද්දේ දවසක අදායම කෝටි 3 කට ආසන්න වෙනකොට, කෝටි 10 ක බෝනස් ගෙවන එක මහා කජ්ජක් නෙමෙයි.
"පර්පචුවල් ටේරෂරීස් සමාගම 2015/2016 මුදල් වර්ෂය තුළ දී රුපියල් කෝටි 1100ක ලාභ උපයා ඇති බව ද කොමිසමේදී සාක්කි මගින් අනාවරණය විය" ඉතින් කෝටි 10 ක බෝනස් එක මොකක්ද?