ජනතාවට වඩාත් විවෘත සහ වගවීමෙන් යුත් රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම සඳහා රජය හා සිවිල් සමාජය ඒකාබද්ධව ප්‍රතිපත්ති සම්පාදනය කරන වැඩපිළිවෙළකට ශ්‍රී ලංකා රජය එකඟත්වය පළ කිරීම පිළිබඳව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සිය සතුට පළ කරයි.

එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක අබේසේකර මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය සාමාජිකත්වය ලබාගැනීමත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවට ප්‍රතිපත්ති සම්පාදනයේදී සිවිල් සමාජය හා එක්ව කටයුතු කිරීමට සිදුවනු ඇති බවයි. එහිදී සිවිල් සමාජය සතු අත්දැකීම් සහ හැකියාවන් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගැනීමට අවස්ථාව ලැබීම මගින් සිවිල් සමාජයේ ශක්තිය තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම නිවේදනයේ සඳහන්ය.

2016 වසරේ ජූනි 30 වැනිදාට පෙර ශ්‍රී ලංකා ආණ්ඩුව තම ප්‍රථම ක්‍රියාකාරී ජාතික සැලැස්ම ඉදිරිපත් කළ යුතු අතර පුළුල් සිවිල් සමාජ සහභාගිත්වයක් සහිතව මෙම සැලසුම ඉදිරිපත්වුවහොත් එය ශ්‍රී ලංකාවේ යහපාලනය වඩාත් ප්‍රශස්ත මාවතකට යොමු කිරීමක් වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.