මෙරට යුද්ධයේ අවසන් අදියරේදී සිදුවී යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ වලට විසඳුම් සෙවීමේ ලංකාවේ දේශීය යාන්ත‍්‍රණයට සහාය දැක්වෙන යෝජනාව ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රගතිය පිළිබඳ වාචික වාර්තාවක්  ශ්‍රී ලංකා රජය විසින් ලබන ජුනි මාසයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බාර දිය යුතුව ඇතැයි ජිනීවා ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසිවාරය ලබන ජූනි මාසයේදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප‍්‍රතිසන්ධානයට, වගවීමට හා මානව හිමිකම් වලට අදාළව වෙනත් ක‍්‍රියාවලීන් ක‍්‍රියාත්මක කිරීමෙහිලා වන ප‍්‍රගතිය එම වාචික වාර්තාවෙන් ඉදිරිපත් කළ යුතු බව පැවසේ.

ඇමෙරිකාව ඇතුළු තවත් රටවල් කිහිපයක ඒකාබද්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී නිල වශයෙන් සභාගත කළ මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරවම සම්මත වූ අතර , 2017 වසරේ මාර්තු මාසයේ ජිනීවා හිදී රැස්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි වාර්ෂික සැසි වාරයේදී වත්මන් යෝජනාවලිය ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක ලිඛිත වාර්තාව ඉදිරිපත් කළ යුතුව ඇත.

මෙම යෝජනාව සම්මත කිරීම සඳහා මානව හිමකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47 ම සහාය දැක්වූයේය.විශේෂයෙන්ම මීට පෙර ශ්‍රී ලංකා විරෝධී ස්ථාවරයේ සිටි රටවල් රැසක් මෙවර ලංකාව වෙනුවෙන් පෙනී සිටියේය.‘‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම’’ තේමා කර ගත් මෙම යෝජනාවට ඇමෙරිකාව සමඟ ඒකාබද්ධ වූ සෙසු රටවල් වනුයේ බි‍්‍රතාන්‍යය, මෙසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝ ඇතුළු රටවල් 25 ක් සම අනුග‍්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත්විය.

මෙම යෝජනාවේ මුල් කෙටුම්පතේ සඳහන් වූ ඇතැම් කාරණා සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බවට ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් මුලසිටම ඉදිරිපත් කර තිබූ විරෝධතාවයන්ද සැලකිල්ලට ගෙන යෝජනාවේ අවසන් කෙටුම්පතින් ඒවා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කළ රටවල් පියවර ගෙන තිබිණි.

පසුගිය කාලයේ මෙරට ජනමාධ්‍යවේදීන්, පුද්ගලයින් අතුරුදන් වීම් ,විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම් වලට එල්ල වූ ප‍්‍රහාර සම්බන්ධයෙන් නිසි පරීක්ෂණත්, එවැනි දෑ සිදු නොවීමට ඉදිරියේ වගබලා ගත යුතු බවද යෝජනාවේ සඳහන් වේ.එසේම ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන යාන්ත‍්‍රණය පොදුරාජ්‍ය මණ්ඩලය  ඇතුළු විනිසුරුවරුන් ගේ සහාය ලබා ගතයුතු බවද එමඟින් පෙන්වා දී ඇත.