(ෂේන් සෙනෙවිරත්න)

දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානියට පත් ව මාස 10 කට අධික කාලයක් නැවතී තිබූ රඹුක්කන පේරාදෙණිය දුම්රිය ගමන් යළි සක්‍රිය වී දින දෙකකට පසු දුම්රියක් පීලිපැනීම නිසා එම මාර්ගයේ දුම්රිය ගමන්වලට බාධා එල්ලවී ඇත.

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අංක 1038 සීඝ්‍රගාමී කාර්යාල දුම්රිය කඩිගමුව සහ ගංගොඩ දුම්රිය ස්ථාන අතර වැටී තිබූ පස් කන්ඩියක් සමග දුම්රිය මාර්ගයට වැටී තිබූ විශාල ගලක දුම්රිය ගැටීමෙන් අද (05) පෙරවරු 4.40 ට පමණ  අනතුර සිදුව තිබේ.

දුම්රිය රියදුරා පවසා ඇත්තේ දුම්රිය ගමන් කරමින් තිබියදී මීටර් 10 ක පමණ දුරකින් පස් කන්ඩිය සහ ගල වැටී තිබෙන අයුරු දුටුවත් ඒ වන විට දුම්රිය පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි.

එම අනතුරින් දුම්රිය මගීන්ට හානියක් සිදුව නොමැති වුව ද දුම්රිය එන්ජිමට හානි සිදුව තිබේ.

දුම්රිය නැවත පීලිගන්නවා දුම්රිය මාර්ගය නැවත පිළිසකර කරන තෙක් එම මාර්ගය දුම්රිය ගමන් තාවකාලිකව නවතා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.