
(අමිල සම්පත් ශ්‍රී)
තිස්සමහාරාම, පන්නෙගමුව වැව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් එහි කොටසක අනවසර ඉදිරිකිරීම් සහ වගාවන් සිදු කර ඇතැයි ගොවි සංවිධාන කියයි.
අක්කර අඩි 800 ක ජල ධාරිතාවකින් යුත් මෙම වැවේ විශාල ප්‍රමාණයක් විවිධ පුද්ගලයන් විසින් අල්ලාගනු ලැබ ඇත.
දැනට ඉතිරිව ඇත්තේ අක්කර අඩි 200කටත් වඩා අඩුවෙන් ජලය පිරෙන ප්‍රමාණයක් බවට ගෝවීහු චෝදනා කරති.
මෙම වැව වසර 12ක් පමණ තිස්සේ කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකිරීම හේතුවෙන් කැලෑවෙන් වැසී ගොස් ඇතැයි ගොවීහු කියති.
මේ අතර පළාතේ ප්‍රබල දේශපාලනඥයකු වැවේ විශාල හෝටලයක් ඉදි කර ඇති අතර තවත් පිරිස් වී සහ පොල් ඇතුළු විවිධ වගාවන් කර ඇතැයි ප්‍රගති ගොවි සංවිධානයේ සභාපති කේ.එච්. අනුර මහතා කියයි.
මේ අතර අනවසර අල්ලාගැනීම් හේතුවෙන් වැව මේ වන විට අක්කර අඩි 200 කටත් වඩා එනම් අක්කරයක පමණ ප්‍රමාණයකට කුඩා වී ඇතැයි මේ පිළිබඳව කළ විමසීමකදී ලුණුගම්වෙහෙර වාරිමාර්ග ඉංජිනේරු කේ. හර්ෂණ කුමාර මහතා පැවසීය.
අනවසර ඉදිකිරීම් සහ වැව වටේ ඉඩම් අල්ලාගෙන කොටු කර ගැනීම හේතුවෙන් එහි මැනුම් කටයුතු පවා සිදුකිරීමට අපහසු වී ඇති බව ඔහු කීවේය.
වැවේ ඉඩම් අල්ලා ගත් පුද්ගලයන් වැවට මුදා හරින අපද්‍රව්‍ය මෙන්ම පාසි වර්ග සහ ඝන කැලෑවක් ලෙස ගහ කොළවලින් වැසී යාම හේතුවෙන් එහි ජලය අපවිත්‍ර වී ඇති බව ඉන් ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙන බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කළේය.
මෙම තත්වය නිරීක්ෂණය කිරීමට අප එහි ගිය අවස්ථාවේ ගොවීහු සියයකට වැඩි පිරිසක් පන්නෙගමුව වැව අසලට රැස්ව සිටියහ.
ප්‍රබල දේශපාලනඥයකු අක්කර 5 ක පමණ භූමියක් වට කර හෝටලයක් ඉදි කරන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකි විය.
පානීය නළ ජල පහසුකම් ලබා ගැනීමට නොහැකිව පන් දහසකට වැඩි පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටියදී එම ඉදිකරමින් යන හෝටලයට නල ජල පහසුකම් ලබාදීමට ද කටයුතු කර ඇති ආකාරය ගොවීහු පෙන්වා දුන්හ.
වැව තුළ අඩි පහළොවක් විස්සක් පමණ උසැති මහා ගස් වැවී කැලෑවෙන් වැසී ගොස් ඇති නිසා දේශපාලනඥයා ඉදි කළ අනවසර ඉදිකිරීම් කිසිවක් ඈතට නොපෙනෙන බව ද ගොවීහු සඳහන් කළහ.
වසර ගණනක් තිස්සේ මෙලෙස අනවසර ඉදිකිරීම් සිදුවෙද්දී අදාළ බලධාරීන් ඊට නිසි පියවර නොගැනීම පුදුමසහගත බවද ගොවීහු සඳහන් කළහ.
මේ පිළිබඳව තිස්සමහාරාම මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජයමුණි මහතාගෙන් කළ විමසීමේ දී ඔහු මෙසේ පැවැසීය.
ප්‍රදේශයේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යෑමට අපවිත්‍ර වූ ජලය සහිත පන්නෙගමුව වැව විශාල කරදරයක්. ඒ පිළිබඳව වාරිමාර්ග ඉංජිනේරුවරයාට සහ ජලජීවී පරීක්ෂණ ආයතනයට ද ලිඛිතව දැනුම්දීමට කටයුතු කරනවා යැයිද ඔහු කීවේය.
මේ අතර ලුණුගම්වෙහෙර ජලාශයෙන් පෝෂණය වන පන්නෙගමුව වැවේ ජලය යොදා ගනිමින් කුඹුරු අක්කර 600ක වී වගා කටයුතු සිදු කරන බවත් වැවෙහි දැනට රඳවා ගත හැක්කේ වතුර මුර දෙකකට අවශ්‍ය ජලය පමණක් බව ගොවි සංවිධානයේ සභාපති එස්. ජාලියගොඩ මහතා සඳහන් කළේය.
පන්නෙගමුව වැව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරදෙන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී වසර ගණනාවක් තිස්සේ ඉල්ලීම් කළත් ඵලක් නොවූ බවද ඔහු කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට හෝ වෙනත් බල පුළුවන්කාරකම් වලට යටවී රාජකාරි කල අය නිහඬ වීම ප්‍රශ්නයක් . එක්කෝ රස්සාව අත හරින්න ඕන. නැත්නම් මාරුවක් හදා ගෙන යන්න ඕන. ඔවුන් මෙතෙක් ගෙන තිබු පියවර මොනවාද කියල පරීක්ෂණයක් අවශ්‍යයි. පඩි සහ වරප්‍රසාද ගත්තේ අහවල් දෙයකටද ?
ලුණුගම්වෙහෙර වාරිමාර්ග ඉංජිනේරු කේ. හර්ෂණ කුමාර මෙතෙක් කල් උඩ බලාගෙන උන්නෙ ඔය කියන දේශපාලුවාට බයෙන්ද නැත්නම් පගාවටද? අනෙකුත් අදාල බලධාරීන්ද එසේම වියහැක. රටකට ගිය කල…! මේ පිලිබදව රජය ගනු ලබන ක්‍රියාමාර්ගය දෙස අපි බලා සිටිමු
කවුද මහින්ද අමරවීරද?
ප්‍රබල දේශපාලනඥයකු කියන්නේ මොකද? මේ වගේ දේවල් කරන්නේ නිතිය නොපිළිපදින මැරයන්. මොකද මැර දේශපාලනඥය කියන්න බැරි?
ඔක්කොමලා ලොකු නින්දක ඉඳලා දැන් තමයි ඇහැරිලා තියෙන්නේ
මේ සියල්ල කෙරෙන තුරු ගොවි සංගම් බම්බුගහැව්වාද?