(යොහාන් භාසුර)

ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන මෙම ජනවාරි මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා ඉහළ යන බවත් දෛනික වැටුප රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා වැඩි වන බවත් කම්කරු කොමසාරිස් ජනරාල් එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහතා නිවේදනයකත් නිකුත් කරමින් පවසයි.

2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන පනත අනුව සේවායෝජකයන් අදාල ගෙවිය යුතු බවත් මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ.

සංශෝධිත පනතේ 4 වැනි වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු පසු සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලව් කිරීමට යොදා නොගත යුතු බවත් මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාල කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙනු ඇති බවත් නිවේදනයේ සඳහන් වේ.

නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.