මෙයට අවුරුදු 23 කට පෙර ඉතාලියට පැමිණ ඉන්න හිටින්න තැනක් නොමැතිව දුම්රීය ස්ථාන හා උද්‍යානයන්හි කල්ගෙවූ ශ්‍රී ලාංකිකයෙක් වසර 23 කට පසු අංක එකේ ව්‍යාපාර කළමණාකරුවෙක් බවට පත්ව සිටියි .
මිලාන් නුවර ආසන්නයේ පිහිටි ඔහු සේවය කරනා (ඔහුගේම වැනි ) මහා පරිමාණ ආපන ශාලාවට හා හෝටලයට එසැණ ගොඩවන විටද 600 කට අධික ඉතාලි හා විදේශිකයින් පිරිසක් ශ්‍රී ලාංකික කෝකියෙකු අතින් හැදෙන ඉතාලි ආහාර පාන වල රස බලමින් සිටියහ.
සරල ඇදුමෙන් සැරසුණු ලාංකික කළමණාකරුද 60 කට අධික වේටර්වරුන් පාලනය කරමින් තම ආපන ශාලාවට ගොඩ වී ආහාර ගනිමින් සිටි අයගේ අවශ්‍යතා සපුරමින් සිටින අතර ඉඩක් ළද විගසින් එසැණ සමග කතා බහට එක්විය.
අත්තෙන්ම මම බොහෝ දුක්විඳලයි මේ තැනට ආවේ. අවුරුදු 23 කට ඉස්සර මම ඉතාලියට ආපු වෙලේ ඉන්නහිටින්න තැනක් තිබුණේ නැහැ . මුල්ම දවසේ පාදෝවා දුම්රිය ස්ථානේ නිදාගත්තා. පහුවදා කෝච්චියේ නැගලා ටිකට් නැතිව ඔහේ ගියා.යන්න තැනක් තිබුණේ නැහැ .අවසානෙදි කෝච්චිය නවත්තපු නාපොල්ලි දුම්රිය ස්ථානය මගේ නවාතැන්පොළයි.
එතන දවස් කිහියක් ඉන්න කොට ලංකාවේ පවුලක් මට නවාතැන් දුන්නා. එතන ඉඳලා මම මිලානෝ වලට ආවා. ඒ ඇවිත් නැවතුණේ මිලානෝ දුම්රිය ස්ථානයේ. එතන ඉන්න අමාරු නිසා මම පාක් එකක හිටියා.
එහෙම ඉන්න කොට ලංකාවේ කෙනෙක් ඇවිත් කිව්වා තැනක් තියෙනවා එතන අපේ අය ඉන්නවා එතනට යන්න උදව් කරයි කියලා. මම ගියා. එක අතහැරලා දාපු ගොඩනැගිල්ලක්.
ලංකාවේ අයත් එක්ක තව 200ක් විතර ඉන්නවා . එක් වැසිකිලියයි තිබුණේ. උදේ පාන්දර ඉදලා පෝලිමේ ඉන්න ඕනේ ශාරීරික අවශ්‍යතා ඉටුකර ගන්න. මම අලුත් නිසා අපේ අයගේ වැඩත් මට කරන්න වුණා.
ඔහොම ඉන්නකොට පිට්සා කඩේකට බැදිලා පිට්සා හදන්න ඉගෙන ගත්තා. ඒ අතර මට ලංකාවේ අයියා කෙනෙක් තමයි කිව්වේ ඔයාට පිට්සා හදන්න පුළුවන් නිසා මෙතන ජොබ් එකක් තියෙනවා කියලා. මම ආවා. ඉතාලි අයිතිකාරයා මව බලලා මට පිට්සා හදන්න කිව්වා.
මම එකක් හැදුවා . ඊට පස්සේ මට නැවතිලා වැඩ කරන්න කිව්වා. නමුත් පිට්සා හදන්න නෙමෙයි පිගන් හොදන්නයි රෙස්ටුරන්ට් එක පිරිසුදු කරන්නයි. එයාලගේ තත්වයට මට පිට්සා හදන්න බැහැ කියලයි එයා කිව්වෙ. කොහොම හරි මම වැඩ කරගෙන ගියා. සමහර දවසට පැනලා යන්නත් හැදුවා. ඒ තරමට වැඩ අමාරුයි . ඒ වෙලාවට අර මාව දාපු අයියා මට ශක්තිය දුන්නා. කොහොම හරි මම ටික ටික මෙතන වැඩ අල්ල ගත්තා. අවන්කවම වැඩ කළා. පිගන් හෝදන තැන ඉදලා කැෂියර් එකට වෙනකම් ආවා .
මිට අවුරුදු 15කට ඉස්සෙල්ලා මට අයිතිකාර ඉතාලි ජාතිකයා කතා කරලා මගේ අතට යතුර දීලා කිව්වා අද ඉදලා ඔයා මේ රෙස්ටුරන්ට් එක අරන් යන්න කියලා.
ඒ වෙනකොට මේකේ 70යි දාන්න පුළුවන්. අද ඒ අය ඇමරිකාවේ. මම ආයතනය ගොඩාක් දියුණු කළා. දැන් මේ රෙස්ටුරන්ට් එකට 1250ක් දාන්න පුළුවන්.
ඒ කරුණාවන්ත ඉතාලි ජාතික මහත්තයා මා ගැන විශ්වාස කරලා මට එදා ආයතනය බාරදීලා නිදහස දුන්න නිසා ඒ අය වෙනුවෙන් යම් දෙයක් කරන්න පුළුවන් වුණා කියන අහිංසක සතුට මා ගාව තියෙනවා. ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලුස්කොනි මහතාගේ දුවලා දෙන්නා මගේ රෙස්ටුරන්ට් එකට කන්න එනවා. ඒ මහතාත් එක දවසක් ඇවිත් ගියා. බොස්සි ෆිනි වගේ ජනප්‍රිය දේශපාලන චරිත ඉතාලි ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් ලෝක ප්‍රසිද්ධ ෆෝමියුලා ධාවන තරගයේ ප්‍රධානින් මගේ රෙස්ටුරන්ට් එකට එනවා.
ලංකාවේ මැති ඇමතිවරු ඉතාලියට ආවාම මම කන්න බොන්න දීලා ඉදුම් හිටුම් පවා දෙනවා. හැබැයි පක්ෂ බේදයෙන් තොරවයි මම ඒ දේවල් කරන්නේ.ලංකාවේ කලාකරුවන් ආවමත් එහෙමයි. මුදලට නෙමෙයි මම ඒ දේවල් කරන්නේ. පොදු වැඩ වලදී මම ගොඩාක් උදව් කරනවා.
ටයිකෝට් ගහගෙන පොල්තෙල් පහන් පත්තු කරන්න මම යන්නේ නැහැ. කරන හැම දෙයක්ම නිහඩව කරනවා.උදේට මම රෙස්ටුරන්ට් එක අරින කොට පෝලිමේ ඉන්නවා එදා දවසේ රැකියාවල් ඉල්ලගෙන. මට රැකියාවක් දෙන්න බැරි උනාම කන්න දීලා අතට කියක් හරි මිට මොලොලා අරිනවා. දවස ගානේ කන්න නැතිව අසරණව පාරේ ඉන්න අයට මම කන්න දෙනවා.
මේ අවට ඉන්න රැකියා නැති අපේ අයට ගෙවල් කුලී ගෙවන්න කන්න බොන්න මම මුදල් දුන්නා. නමුත් මම ළගදි ඉදලා එක නැවැත්තුවා. සමහරු ඒ සල්ලි වලට බොන්න ගත්තා. දැන් මම කරන්නේ ඒ අයගේ ගෙවල් වලට පුළුවන් වෙලාවට මුදල් යවනවා.
ඔබට හැකිනම් මගේ නම පත්තරේ නොදා ඉන්න. මොකද මිට පෙර මගේ නමත් මේ ආයතනය ගැනත් ඉතාලි පත්තර වල ගියා. එක බලන් ඉන්න බැරිවුණා.
අපේ කිහිප දෙනෙක් මා ගැන බොරු වැරදි ලියපු කොළ හතක පත්‍රිකාවක් ඉතාලි ජාතිකයින් කිහිප දෙනෙකුට යවලා තිබුණා. හැබැයි සිංහලෙන් ලියලා තියෙන්නේ.ඒ සමහර ලිපි පරිවර්තනය කරන්න උනෙත් මටමයි. ඔවුන් ඒ හැම ලිපියක්ම හිනා වෙලා මට ගෙනත් දුන්නා. නම සදහන් නොකළොත් ටයිකෝට් නොදැම්මත් රටට ආඩම්බර විය හැකි මුල මතක ඇති ඔහු එසේ කියයි.
විශේෂ ස්තුතිය. වසන්ත කීර්තිරත්න සහ චින්තක චන්දන කුමාර මහත්වරුන්ට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය මිනිසෙක් ! (අ)
අපේ රටේ ශ්‍රී නාමය සුරකින " නියම " මහත්මා වරුන්ද ඉතලියේ ඉන්නවා..මේත් එවන් කෙනෙක් ...ඔබට් අපගෙ ප්‍රණාමය ..(අ)
නියම මහත්මයෙක්, හදවතින්ම සුබ පතනවා අනාගතය තවත් සාර්ථක වෙන්න කියල,ඔබේ සෙවනින් පිහිට ලබපු හැමෝටම හිතෙනවා නම් ඔබ වගේ වෙන්න මේ ලෝකේ කොච්චර ලස්සන තැනක් වෙලා තියේවිද නේද, (අ)
නියමයි කොල්ලෝ ..... හොදක්ම වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.(අ)
ජය ශ්‍රී! (නදී)
ඔබට ජය! (නදී)
ඕක මොකක්ද, ලී මඩුවෙන් ධවල මන්දීරයට ගිය කෙනෙකුත් ඉන්නවා නේ. (නදී)
මිනිස් මනස/සිත කියන්නේ මහා බලගතු එකක්. හරි විදහට යහපත් චේතනාවෙන් හා අවබෝදයෙන් එය යෙදෙව්වොත් ඉතා ඉහල ප්‍රතිපල ලබාගන්න පුළුවන්. ලංකාවේ සමහර අය මේ හැකියාව දැනුම යොදවන්නේ අයතා විදිහට සල්ලි හම්බ කරන්න. නමුත් හරි විදිහට යෙදෙව්වොත් හොදට දියණු වෙන්න පුළුවන්. මතකද 1981 ජේ ආර් වැඩ වර්ජනය කරපු ඔක්කොම අස්කරලා දැම්මා. ඒ කාලේ පොඩි රස්සා කරකර හිටපු සමහර අය ඊට පස්සේ දුක් විඳලා මහන්සිවෙලා අවරුදු ගණනක් ගියාම කෝටිපතියෝ වෙලා අදත් හොඳට ජීවත් වෙනවා.(නදී)
උණුසුම් සුබ පැතුම් මහත්මය ඔබට ! තව තවත් දියුණුවට පත් වේවා ඔබේ ව්‍යාපාරය.(නදී)
ඔබ ලංකා මෑණියගේ දිරිය පුතෙක්. ඔබ ගැන අප ආඩම්බර වෙනවා. (නදී)
මොහු ගැන සතුටුයි. නමුත් මෙය දුලබ සිදුවීමක්. මෙම ලිපිය නීති විරෝදිව ඉතාලි යන්න හදන අයට අනුබලයක් නොවිය යුතුයි.(නදී)
අපි නං කබලෙන් ලිපට. (නදී)
අපි ඔබ ගැන හොඳින් දන්නවා.ඔබට තෙරුවන් සරණ ලැබෙවා (අ)
පෙරේරා මෝඩ කතා කියන්නේ නැතුව සතුටු වෙන්න. එයා ගොඩක් උසස් ශ්‍රීලාංන්කිකයෙක්.(නදී)
ලංකාවේ ගොඩක් දුප්පත් පවුල් සිටිනවා . ඔවුන්ට උදවු කරන්න. නැතිනම් වැඩක් නෑ. (ත)
සුබ අනාගතයක් ඔබට.(නදී)
අලුත් අව්රුද්දෙ හීතට හයිය ගන්න ඔබ තුමාගේ කතාව වටීනවා. ඔබට සුබ අවුරුද්දක් වේවා. (නදී)
ලෝකේ මේ වගේ හොඳ මිනිස්සු ඉන්නවා.(නදී)
ආයුෂ,ධනය,සිරිය,යසස,බලය, ශරීර වර්ණය,සැප වැඩීමට හේතුවේවා. ඔබට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා.(නදී)
මිතුරනි ඔබට ජයෙන් ජය! අපේ මව් බිමට ඔබ වන් අය උවමනාකර ඇත.(නදී)
නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ ලාංකික කළමණාකරු මහතාණෙනි, ඔබට මගේ ප්‍රණාමය සහ සුභපැතුම්! ජය පැරදුම කියා ඔබ නෑ පසු තැවුනේ.. දහඩිය කඳක් සොලවා ඉහලට නැගුනේ.. අපහසු දෙයයි උත්තම ජීවන ගමනේ.. යහතින් වැඡබේව දිරිමත් ලක් පුතුනේ! (දී)
අපේ රටට ආඩම්බර වියහැකි, රට වෙනුවෙනුත්, සමාජය වෙනුවෙනුත් නිහඩව මහත් සේවයක් කරන බොහෝ ශ්‍රි ලාංකිකයන් ඉන්නවා. ඔවුන් ප්‍රසිද්ධියට අකමැතියි. ඔවුන් ඒ සේවාව කරන්නේ අවංකවම නිසා.බොහෝ අය කරන්නේ ඒවායින් අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සහ කිරීම හෝ නැතිනම් ඔහුට මඩ ගැසීමයි. මිනිසුන්ගේ මේ ඉරිසියාව කියන දේ සුව කල නොහැකි රෝගයක්. මෙවන් සේවාවක් කරන ඔබට ජාතියේ ප්‍රණාමය! (නදී)