(*** ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හැරමිටි වාරුවෙන් යමින් සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් ගසා අතක් කැඩී යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන තෙක් පොලිස් සිර මැදිරියේ රඳවා සිටි පුතාගේ සුව දුක් විමසීමට එම මව අම්පාර රෝහලේ සිට ඊයේ (24) පෙරවරුවේ උහන පොලිසියට පැමිණි බව පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
පුතා කඩා දැමූ අතට ප්ලාස්ටරයක් ද දමාගෙන අත උරහිසේ රැඳවූ පටියකින් එල්ලා ගෙන අමාරුවෙන් පොලිසියට පැමිණි මව තමාට පහර දුන් පුතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි හැඬූ කඳුළෙන් යුතුව ඉල්ලා සිටි බවද එම නිලධාරියා කීය.
අම්පාර රෝහලේ දින 03 ක පමණ කාලයක් නේවාසිකව වෛද්‍ය ප්‍රතිකාර ලැබූ මෙම 72 හැවිරිදි මවගේ කැඩී ගොස් තිබුණු අතට ප්ලාස්ටර් දමා සකස් කිරීමෙන් පසුව ඊයේ රෝහලෙන් ටිකට් කපා ඇත.
ප්ලාස්ටර් දමා තිබූ අත ද එල්ලා ගෙන වේදනාවද දරාගෙන හැරමිටි වාරුවෙන් මෙම වයෝවෘද්ධ මාතාව එදිනම උහන පොලිස් ස්ථානයට පැමිණ පොලිස් සිර මැදිරියේ රඳවා සිටින පුතා බැලීමට පොලිස් නිලධාරීන්ගේ අවසර ඉල්ලා ඇති අතර අවසර ලැබීමෙන් පසුව මව හැරමිටි වාරුවෙන් පොලිස් සිර මැදිරිය ළඟට ගොස් එහි යකඩ කූරු අල්ලාගෙන හඬාවැටුණු ආකාරය ඉතා දුක්මුසු දසුනක් වූ බව එම අවස්ථාව දුටු පොලිස් නිලධාරීහු පැවසූහ.
පසුව උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා හමු වූ එම මව තමාගේ පුතා නිදහස් කර දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා ඇත.
බීගෙන ඇවිත් ගහලා මගේ අතක් කැඩුව. ඒක ඇත්ත. ඒත් මම පුතා එක්ක තරහක් නැහැ. එදා වගේම මගේ රත්තරන් පුතාට ආදරෙයි. රට ජාතිය වෙනුවෙන් සටන් කරන්න ගිහින් බෝම්බයකට අහු වෙලා කකුලකුත් නැතුව ඉන්න ආබාධිත දරුවා. අනේ මගේ රත්තරන් පුතා උසාවි යවන්න එපා. මට එයාව නිදහස් කරලා දෙන්න යැයි කියමින් වයෝවෘද්ධ මාතාව පොලිස් ස්ථානාධිපති කරුණාරත්න මහතා හමුවේ පිංසෙන්ඩු වී තිබේ.
පහර දී බරපතළ තුවාල සිදු කිරීමක් නිසා පුතා මුදාහැරීමට නීතියෙන් හැකියාවක් නොමැති බව පොලිස් ස්ථානාධිපතිවරයා මවට කරුණු පැහැදිලි කර දී ඇත.
සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසුව එහි අතිරේක මහේස්ත්‍රාත් සී.ජේ. හංසදේව සමරදිවාකර මහතා ඔහු ලබන මස 07 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළ බව ද පොලිසිය පවසයි.
මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්වරයෙකි.
කොටින් අටවා තිබූ බෝම්බයකට 2006 වසරේ අසුවීමෙන් දණ හිසෙන් පහළ එක් පාදයක් අහිමි වීම නිසා ඔහු කෘත්‍රීම පාදයක් පැළඳ සිටින බව පොලිසිය කියයි.
අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු රැගෙන ගිය අවස්ථාවේ මෙම 72 හැවිරිදි මව ද හැරමිටි වාරුවෙන් එහි පැමිණ බන්ධනාගාරය වෙත පුතා රැගෙන යන තෙක් එහි රැඳී සිටි බව පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" දසමස කුස දරා ලේ කිරි කර පොවලා ... කැත කුණු අත ගගා කරගහ ගෙන වඩලා... කැඩුවත් නුඹ මගේ අත එය අමතක කරලා ... අනෙ මගෙ පුතේ .. !!! කොහි යන්නෙද නුඹ දමලා ... "
බීලා හරි, බීලා නැතුව හරි... තමන්ගේ අම්මට මෙහෙම සලකන අයත් "රණවිරුවෝද"?
හමුදාවට ගනිද්දී පුහුණුවක් දෙනවා වගේම... හමුදාවෙන් යද්දී පුනරුත්ථාපනය කරලා ඔලුව, පපුව හදලා සමාජගත කරන එක තදබලම අවශ්‍යතාවයක්...
" අතේ සතේ නැතත් අම්මා පුතේ කියයි "..යන්න කෙසේ අර්ථ දැක්වේද?
අබ්බගාතයෙක් වෙලත් තමන්ගේ අම්මට මෙහෙම කරා නම්.., අත පය හොඳට තියෙන කාලේ හමුදාවේ ඉන්න කොට කරපුවා ගැන කවර කතාද..? ඒ කරපුවා තමයි පල දීලත් තියෙන්නේ...
දරුවෙක් උපදින ඒ සුන්දර සුළු මොහෙතේ... සතුටක් ලැබුවේ අම්මෙකු හැරෙන්නට කව්රුන්ද..? එනමුත් දරුවන් ගැන දුක්වන්නේ ජීවිත තුරාවට... අම්මෙකු හැර වෙන ලොව අන් කිසිවෙකුද...?
මේවට මුල බීමත්කම සහ නූගත්කම. රටේ හැම නගරයකම බාර් ඇතිකිරීමේ ප්‍රතිඵල තමයි මේ....
කතාවක් අසා ඇත්තෙමි. පෙම්වතියක් තම පෙම්වතාට කීවලු ඔබ මා සමග විවාහ වීමට නම් තම මවගේ හෘදය මට ගෙනැත් දෙන්න ඕනෑ කියලා... දිනක් පුතා අම්මාව මරා පපුව පලා හෘදය රැගෙන පෙම්වතිය වෙත දිවයනකොට පය ගලක වැදී වැටෙන්න ගියා. පුතාගේ අතේ තිබුණු මවගේ හෘදය කතා කරලා කිව්වලු ‘‘ ආ පුතේ.., බලාගෙන වැටෙයි‘‘ කියලා. මේ එවැනි මවක්මයි. ‘‘ මවගේ දෙපා යට පුතෙකුගේ ස්වර්ගය ඇත‘‘
අම්මට ගහපු මොහු නරුමයෙක් බව ඇත්ත. ඒත් මොහු 30 අවුරුදු යුද්ධයෙන් පසු අතහැරදාපු සොල්දාදුවෙක් බවත් අමතක කළ නොහැක..
රට රකින විරුවන් ඉන්න මේ රටේ මෙවැනි මිනිසුන් ඉන්නවද? එ් අයට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න...