(ආනන්ද ඉ ජයකොඩි සහ අධිකරණ ටෝනි කරුණානායක)

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඩු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොරෙන් කපා වල දැමීමේ සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය අද (03) නියම කළාය.

‘පඩු කරඳ’ ගස හොරෙන් කපා වල දැමීමේ සිද්ධියට සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා කළ දැනුම් දීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඩු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොර රහසේ මහ රෑ කපා වල දමා ඇති බව කියමින් ගම්පහ දිසා වන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කොට තිබිණි.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම වහාම ක්‍රියාත්මක වු මහේස්ත්‍රාත්වරිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ පසුගිය ජූනි මස 28 වැනිදා වල දමා තිබූ පඩු කරඳ ගස යළි ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් නැවත සිටුවනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා මෙම සිද්ධියට අදාළව තවදුරටත් නීතිමය පියවර නොගන්නා බව විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී ඇම් ඇම් වරුණප්‍රිය මහතා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා සිටින්නේ මහ පුදුම කතාවක් යැයි කීය.

දුප්පත් මනුස්සයෙක් කැලේ ගහක ඇත්තක් කැපුවත් වන නිලධාරීන් එම පුද්ගලයාව කුදලගෙන ඇවිත් නඩු දාන මේ රටේ වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දුර්ලභ ශාඛයක් හොර රහසේ කපාගෙන ගොස් වළ දැමීමේ බරපතල අපරාධයක් කළ අයට එරෙහිව දැමු පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා කියන්නේ පැහැදිලිවම අපරාධයක් යැයි කී නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා මෙය දේශපාන බලපෑම මත වන නිලධාරීන් කරන කටයුත්තක් යැයිද කීය.

මේ අවස්ථාවේදී නීතීඥ රොෂාන් කහටපිටිය මහතාද අධිකරණය අමතමින් වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ අපරාධය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවටද නඩු පැවරීමට පූර්ණ බලතල ඇති හෙයින් මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළත් කිසිම ප්‍රතිචාරයක් නැතැයිද අඩුම කරමින් එම නිලධාරීනුත් අධිකරණයට පැමිණිලත් නැතැයිද කීය. වගඋත්තරකාර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් මෙම ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වී අති විශාල පාඩුවක් වී ඇතැයි කීවාය.

මධ්‍යම අධිවේගී මාර්ගය පසුගිය කාලය වන විට තනා නිම කර තිබුණා නම් ඉන්ධන හිඟයක් පැවැති සමයේදී ජනතාවට විශාල සහනයක් ලැබබීට හැකියාව තිබුණේ යැයිද නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් කීවාය.