ලක්ෂ 15ක් පමණවන රාජ්‍ය සේවකයන්ගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් දිනකට තම සේවා කාලයෙන් පැය දෙකකට වැඩි කාලයක් ෆේස්බුක් හා අන්තර්ජාල ඇතුළු වෙනත් විනෝදාත්මක සේවාවන් භාවිත කරන බවත් ඒ හේතුවෙන් මාසයකට පැය 40ක රාජකාරී කාලයක් වැය වන බවත් රාජ්‍ය පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අජිත් කේ.තිලකරත්න මහතා ජනපතිට, අගමැතිට හා රාජ්‍ය පරිපාලන ඇමැතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

වෘත්තීය සමිති සම්මේලනයේ අදහසක් අනුව රහසිගතව තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක් ආශ්‍රිතව සිදුකළ සමීක්ෂණයක් මගින් මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ඔහු සඳහන් කරයි. විශේෂයෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන ආදිය රාජකාරී වේලාවේ නිරන්තරව භාවිත කරන රාජ්‍ය සේවකයන් එසේ දෛනිකව වැය කරන කාලය ගණන් බැලූ විට මාසයකට පැය 40ක් පමණ වන බවද තිලකරත්න මහතා කියයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිලකරත්න මහතා පවසන්නේ මහජන මුදලින් වැටුප් ලබන සේවකයන් තම රාජකාරී වේලාවෙන් විශාල පැය ගණනක් මෙසේ විනාශ කිරීම රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීමටත්, රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මහජනතාවගේ ඇති විශ්වාසය බිඳ වැටීමටත් හේතුවී ඇති බවයි. නමුත් මේවා තහනම් කිරීම සඳහා නීති පැනවීමට යෝජනා නොකරන බවත් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදු කිරීමට රජය මැදිහත්විය යුතු බවත්  ඔහු පෙන්වා දෙයි. රජයේ සේවකයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වැයකර පුහුණ සැසි පැවැත්වුවද මෙවැනි දේ පිළිබඳව අවධානයක් නැති බවත් වෘත්තීය සමිති වශයෙන් රාජ්‍ය සේවය ජනතාවගෙන් ඈත්වීමට මෙවැනි දෑ හේතුවිය හැකි බැවින් එසේ බලධාරීන් දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් තිලකරත්න මහතා පවසයි.