(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පටු අරමුණු නිසා දුර දැක්මකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුවාල කර ඇති ආකාරය කොතෙකුත් දැකගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීම් ,ටින්කරින් කිරීම් කොතෙකුත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

විසිවැනි සංශෝධනය තුළින් ජනාධිපතිට අසීමිත බල කන්දරාවක් ලබා දුන්න අතර මේ බලය සමග ගත්ත වැරදි උද්දච්ච තීන්දු නිසා රටට ඇති වූ වින්නැහිය අද විඳිමින් සිටින බවද බාකීර් මාකර් මහතා පැවසීය.

පාර්ලිමේන්තු සාමාජිකයන් ලෙස අද වගකීම් ඉටුකරන  ආකාරය ඉදිරි පරම්පරාව තීන්දු කරනු ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා බොහෝ මන්ත්‍රීවරුන් විවිධ ව්‍යවස්ථා  සංශෝධන වලදී ගත්ත ස්ථාවරයන් පරස්පර විරෝධී බවද මේ තත්ත්වය නිසා  පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටීම පුදුමයට කාරණයක් නොවන බවද කීය.

දේශපාලන පක්ෂ තම තමන්ගේ වාසියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන ආකාරය පෙනෙන්නට තිබෙන බවද එසේ නොමැතිව ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒවාට අනුව කටයුතු කිරීම නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය.

19 සහ 20 යන  සංශෝධන සියල්ලටම ඒවායේ පරස්පරය දැන දැන අත එසවූ මන්ත්‍රීවරුන් ඒ තීරණ ගත්තේ   පක්ෂයේ විනය නිසා බව පාපොච්චාරණය කරන ආකාරය  දුටු බවද  ඇත්තටම පක්ෂය ඇතුළේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීම සැමගේ සැලකීමට ලක් කළ යුතු කරුණක් යැයිද බාකීර් මාකර් මහතා පැවසීය.