(සුජිත් හේවාජුලිගේ )

ජනතාවගේ හඬට කන් නොදීම ඇතුළු විවිධ ගැටලු සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පරිපාලන කටයුතු බාර ප්‍රධානීන්ට එරෙහිව මහජන පැමිණිලි දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තා වේ.

පළාත් සභා හා පළාත් පාලන ආයතනවල නිල කාලය අහෝසිවී ඇති හෙයින් ඒවායේ පරිපාලන කටයුතු දැනට සිදුවන්නේ නිලධාරීන් ( ආණ්ඩුකාරවරුන් කොමසාරිස්වරුන් සහ ලේකම්වරුන්) අතිනි.

පළාත් සභා හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට( නිලධාරීන්ට) එරෙහිව පැමිණිලි ඉදිරිපත්වීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි පැමිණිලි ගණනාවක් තමාටද ලැබී ඇති බවයි.

සමහර නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී ඒකාධිපති ස්වරූපයෙන් කටයුතු කරන බවට ජනතාව දැනුම් දුන් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ජනතාව සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කරන්නැයි ඒ අනුව තමා නිලධාරීන්ට වහා උපදෙස් දුන් බවද ප්‍රකාශ කළේය.

නිලධාරීන් ඒ ආකාරයට ජනතා සේවය පැහැර හරිමින් කටයුතු කරන්නේ නම් ඔවුනට එරෙහිව නීතිමය වශයෙන් ක්‍රියාත්මක වන බවද ඔහු කීවේය.