(බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවෙනි වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් ලේලන්ඩ් වර්ගයේ බස් රථය එහි රියදුරු සහ කොන්දොස්තරවරයා සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

ඝාතනයට දින කීපයකට ඉහතදී විදේශගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණියේ සුද්දා  රුපියල් ලක්ෂ 65 ක මුදලකට සැකකාර රියදුරුගේ නමට  බසය මිලදීගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගෙන එයින් වෙඩික්කරුවන් දෙදෙනා ඇතුළු සිව් දෙනකුගෙන් දින 90 ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින  බව කියයි.

මොණරාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් දෙවෙනි වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව ඝාතනය සිදුකිරීමෙන් පසුව කොට්ටාව දක්වා  මෝටර් රථයෙන්  පැමිණ අනතුරුව බස් රථයෙන් කොළඹ කොටුව දක්වා පැමිණි බවත් එයින් පසු දඹුල්ල දක්වා තවත් බස් රථයකින් ගිය බවත් අනාවරණය කර ඇත.

කරන්දෙනිය  සුද්දා විසින් සූදානම් කර තිබූ බස් රථයේ  රියදුරු සුද්දා ලබාදුන් බව පවසා තමන් වෙත රුපියල් ලක්ෂ 02 ක් හොරයින් මත්ද්‍රව‍ය ගෑම් 10 ක් හා ජංගම දුරකථනයක් එහිදී ලබා දුන් බවත් වෙඩික්කරු වැඩිදුරටත් පොලිස් ප්‍රශ්න කිරීම හමුවේදී පවසා ඇත.