කරාපිටියේ ඉදිකිරීමට සැළසුම්කැර ඇති මාතෘ රෝහලේ කටයුතු පමාවීමට ඇති වස්දොස් මගහැරෙන ලෙස ඉල්ලමින් කරාපිටිය පරිසර හා ප්‍රජා සංවර්ධන පදනම අද එම ස්ථානයට යකදුරකු ගෙන්වා දුම්මල ගසා මන්තර කියවා මිනිත්තු දහයක් පමණ ශාන්තිකර්මයක් වැනි දෙයක් කළේය. සවස හතරට පමණ පැවැත්වෙන බව කියූ මෙම ශාන්තිකර්මය ආවරණය කිරීමට මාධ්‍යවේදින්ට ද ආරක්ෂාවට පොලීසියට ද ඇරයුම් කැර තිබිණි. එය හතරට පැවැත්වෙන බව කීව ද හය වනතුරු පැවැත්වූයේ නැත. සංගමයේ සාමාජිකයන් 70 න් පහළොස් දෙනෙක් පමණ පැමිණ සිටියහ. පූජාව අද පැවැත්වීමට අපහසු බවත් වෙනත් දිනක මාධ්‍ය සාකච්ඡාවක් පැවත්වන බවත් සංවිධානයේ ලේකම් වරයා දැනුම් දීමෙන් පසු ආරක්ෂාවට පැමිණි පොලිස් නිලධාරීන් හා මාධ්‍යවේදීන් ඉවත්ව ගියේය.
ඉන් පැය භාගයකට පමණ පසු රූපවාහිනී නාලිකාවක නියෝජිතයකු ගෙන්වාගෙන බෙරයක් වයා දුම්මල ගසමින් පූජාව පැවැත්විණි. පූජාව පැවැත්වෙන බව දැනගෙන එහි ගිය ලංකාදීප මාධ්‍යවේදියාට සංගමයේ සභාපති ඩී.ජී.බන්දුල ඩයස් මහතා කියා සිටියේ මෙම ස්ථානයේ වූ සිද්ධිය නිවැරදිව වාර්තා කළ යුතු බවයි. පහතරට නර්තන ශිල්පී හා ගුප්ත විද්‍යා කටයුතු කරන ලක්ෂ්මන් හේවගේ මහතා කියා සිටියේ විනාඩි පහකින් දහයකින් අවසන් කරන පූජා නොමැති බවයි. වැඩ අවසන්නොවන ඉදිකිරීම් භූමියක කටයුතු කඩිනම් කැර ගැනීමට පූජාවක් පවත්වන්නේනම් එය බහිරව පූජාවක් විය යුතු බවත් බහිරව පූජාවේදී පෙරේත තට්ටුවක් දී, තීන්දු කපා ආරක්ෂාවක් කරන බව හෙතෙම වැඩිදුරටත් කීවේය. බහිරව පූජා සඳහා බෙර වාදනය නොකරන බවත් හේවගේ මහතා පවසයි
පරිසර හා ප්‍රජා සංවර්ධන පදනමේ සංවිධායක යූ.එල්.විමලජීව මහතා කියා සිටියේ මේ පූජාව සිදුකළේ ගුරුකම් දන්නා පෙදරේරුවකු බවයි.
ජර්මනියේ හිටපු චාන්ස්ලර් වරයකු වන හේල්මුත් කෝල් 2004 සුනාමියෙන් ගාල්ල මහමෝදර රෝහලට වූ විනාශය දැක කරාපිටියේ මාතෘ රෝහලක් ඉදිකිරීමට රුපියල් කෝටි 3000 ක් පරිත්‍යාග කළේය. එම මුදලින් මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ ද වසර හතක කාලයක් එය පාදමට පමණක් සීමා වි තිබේ. මෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ජර්මනියේ පුනර්නිර්මාණි බැංකුව මගින් ණය මුදලක් ලැබී ඇති බවත් පසුගිය අප්‍රේල් මාසයේ යළි ඉදිකිරීම් ආරම්භ කරන බවත් රජය ප්‍රකාශ කැර තිබිණි. එහෙත් මේ දක්වාම වැඩ ඇරඹී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සුනාමි ආධාර වලට වෙච්ච දේවල් අපිනම් දන්නවා. (දී)
රගපෑම් වගේ දේවල් කරන්න එපා. කරනවානම් බාහිරව පුජාව හරියට කරන්න. එතකොට හැමෝම සහයෝගය දෙනවා. කෙසේ නමුත් මේ මාතෘ රෝහල ඉදිකිරීමට බලධාරීන් ඉක්මනින්ම පියවර ගන්න. (දී)
මම නම් කියන්නේ ඔය රෝහල් හදන්න ඕනෑ නැහැ, ණයවෙලා හරි අධිවේගී මාර්ගයක් හම්බන්තොටට යනකම් හදා ගනිමු කියලයි. අපි නම් සතුටු ඒ වගේ දේවල් වලට (දී)
ඇයි මෙතන වල් බිහි උන මේ ගොඩනැගිලි පදනමේ සහ ඒවා හදන්න ගෙනාපු වල් බිහි උන උපකරණ වල පින්තුර ටිකක් දාලා මේවා ටිකක් උනන්දු කරවන්න බැරි ,,,නැතුව මේවා දැමීමෙන් පලක් නෑ (දී)
ගෘහ නිර්මාණ ශිල්පයේදී නවීනයේ ඇතැම් පුද්ගලයින් බහිරව පුජාවන් ගණන් නොගත්තත් බොහෝ දුරට සත්‍යතාවයක් පෙන්නුම් කරනවා. මිරිසවැටිය ප්‍රති සංස්කරණය කිරීමේදී ,ඉදිකිරීම් කරගෙන යද්දී පැත්තක් ඇදහැලුනා.බහිරව පුජාවක් තබා නැවත ආරම්භ කලේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදියි.ඉන්පසු කිසිම කරදරයක් වුනේ නැහැ. (නි)
පරිසර හා ප්‍රජා සංවර්ධන සමිති බුද්ධිමතුන්ගේ සමිතියකි. ඔවුන් විසින් පරාද කරන ලද ක්‍රියාවලියට බුද්ධිමතුන් ප්‍රශංසා කරන අතර නරින් හූ කියනු ඇත.(නදී)
සල්ලි වලට ගන්නත් බැහැ සල්ලි වලට දෙන්නත් බැහැ මන්ස්සකම මිනිස්සුනේ// මගේ අදහස නම් එම සමිතිය විසින් කර ඇත්තේ බලධාරීන්ගේ ඇස් ඇරවීම මිස වාර්ථාකරුවන්ට කියා විවේචනය කර ගැනීමට නොවන බවයි.(නදී)
අනේ මෙහෙමත් හරක්.(අ)
බහිරවයෝ ඉන්නේ අමාත්‍යංහයේ සහ රෝහලේ. අන්න ඒතැන් වලට ගොහිල්ල දුම්මලයි මිරිස් ටිකයි අල්ලුවා නම් හරි. නිකන් බෙර නොගහ.අපි තවමත් ඉන්නේ ගල් යුගයේ. (අ)
එතකොට ඔය ලෝකයේ අහස සිඹින ගොඩනැගිලි සහ වාස්තු විද්‍යාත්මක විශ්වකර්මයන් කරන්නේ මේ යකැදුරන් ලවා බහිරව පූජා තබමින්ද? මිත්‍යා ඇදහිලි වල හිරවෙලා ඉන්නකන් මේවගෙන් ගැලවිල්ලක් නැහැ දියුණුවකුත් නැහැ. ගොඩනැගිල්ල නොහැදෙන්නේ වෙනත් ප්‍රයෝගික කාරනා ක්‍රියාත්මක නොවීමෙන්, මටනම් පෙනේනේ මේක අදාල පුද්ගලයන්ට උපහාසෙට කොරපු දෙයක් කියල (අ)
මේ දුම්මල පූජාව කරන්න ඕනේ මේ කෝටි 300 ගිල්ල බහිරවයටයි! (දී)
ගරානා පාරක් ඇති (දී)
එතකොට රුපියල් මිලියන 3,000ක් යටි මඩි ගහලද? පල් හොරු. (දී).
මම නම් හිතන්නේ සානි ප්‍රනාන්දුට පේනවට වඩා වෙන අරමුණකට මේක කරන්න ඇත්තේ .උගත් මිනිස්සු මේ වගේ දේවල් විශ්වාස කරන්නේ නැහැ. මගේ අදහස නම් මේ සංගමය මේක කරන්න ඇත්තේ දේශපාලුවන් කරන බොරු වලට පොඩ්ඩක් මිනිස්සුන්ගේ අවදානය යොමු කරන්න.මොකද ලංකාවේ මොනවා හරි කරන්න ගියාම තියෙන වස් දොස් කව්ද කියන්න හැමෝම දන්නවනේ .දැන් වත් රජයෙන් මේකට අවදානය යොමු කලොත් හොඳයි (දී)
තිස්තුන් කෝටියක් දෙවිවරු මේ නඩුව අසමින දස්තුන් කෝටියක් සල්ලි දෙස්පාළුවො ගිලපල්ලා.. ඇස්කන් ඇති බහිරවයෝ පාතාලෙන් ඇවිදිල්ලා.. වින්නඹුකන් විලිරුදාව ඇති මවුන්ට කරපල්ලා.. (ස)
ආවඩා ආයුබෝ වේවා. කෝටි 3000 ක් බහිරවයා ගිල්ල ද ? (ස)
සානි ප්‍රනාන්දු මේ කියමන ඔබේ මී මුත්තටත් වදිනවා (අ)
යකුනේ මේ මොනවද කරන්නේ මේ පුජාව කරන්න ඕනේ මේ සල්ලි මාටියා ගහපු කට්ටියගේ ඔලුව ඉස්සරහා (දී)
මෙය බහිරව පූජා කරන හැටි පෙන්වන්න කරපු එකක් කියල මම නම් හිතන්නේ නැහැ. සල්ලි මාටියා ගහපු අය හොයලා දඩුවම් දීම වැදගත්. රජයෙන් හොයා බලා කරන්න ඕනෑ දේවල් ජනතාවට කරන්න සිදුවී තිබීම කණගාටුවට කරුණක්. (දී)
මෙතන මොකක්දෝ රඟ පෑමක් වගේ. ඇයි මාධ්‍යවේදීන්ට යන්න ඇරලා එක්කෙනෙක් විතරක් ගෙන්වගෙන පූජාවක් වගේ දෙයක් කරලා තියෙන්නේ. මටනම් තේරෙන්නේ නෑ (ස)
අපේ ගමෙත් පාරක ප්‍රශ්නයක් මාධ්‍යවේදියකුට කිව්වා. එක්තරා නාලිකාවක කෙනෙක් ඇවිත් කිව්වා එතන ගස් හිටවලා ටයර් පුච්චලා විගඩමමක් කරන්න කියලා. එතකොට අහවල් නාලිකාවේ දාලා දෙන්නම් කියල කිව්වා. ඒ විදිට කරන්න අපේ ගමේ අය කැමති වුනේ නෑ. මේ වැඩේට පස්සේ ගෙන්වපු මාධ්‍යවේදියාත් ඒ නාලිකාවෙම කෙනෙක් වෙන්න ඇති. ඒත් මේ අහිංසක මිනිස්සු එයාට නිවුස් හොයා දෙන්න කඩේ ගිහින් වගේ. (ස)
මේක මාධ්‍යවලට කරපු දෙයක් වගේ. සාමාජිකයන් 70 කින් 15 ක් වත් ඇවිත් නෑ වගේ ඡායාරූප වල පෙන්නේ. ඉන්න අයත් නිකන් විහිළුකාරයෝ වගේ. මේ වගේ විගඩම් කරලා රෝහලක් හදන්න බැහැ. (ස)
ජර්මන් ඉංජිනේරු කණ්ඩායමක් වැඩබිමට පැමිණි බවටත් ආරංචියක් තියෙනවා නේද? (දී)
මේක බෙරයක් නොවේ,දවුලක්. ශාන්තිකර්මවලදි දවුල් ගහන බවක් මා අසා නැහැ. මේ උපහාසාත්මක රගපැමක්, බලධාරීන්ගේ අවධානය යොමු කරන්න. (අ)
ඔය මිනිස්සුන්ට ඇයි රජය දඩුවම් නොකරන්නේ ...? ගහකින් වැටිච්ච පොල්ගෙඩියක් නම් ..?(අ)
ගාල්ල ප්‍රදේශවාසියෙකු විදියට මෙම වල්බිහිවුන ස්ථානය මම නිතර දැක ඇත. විශාල දොඹකර මළකඩ අල්ලා කඩාවැටීමට ආසන්නව තිබේ.සුපුන් මහතයෝ, උද්ගොෂණයේ සාර්ථකත්වය ගැන හා පැමිණි අයගේ හැඩරුව ගැන කතාකරමින් ශ්‍රී ලංකික අනන්‍යතාව පෙන්වන්නට උත්සහ කිරීමට වඩා මෙම දේපල විනාශය නතර කිරීමට උත්සාහ කිරීම නරකද. (දී)
මේක බහිරව පූජාවක්ද නැද්ද කියන එක වැදගත් නැහැ. කාර්යය කෙරුනොත් අපිට ඒ ඇති (දී)
ඔය සල්ලි ගිලපු බහිරවයා අල්ලන්ඩ නම් දුම්මල ගහලා විතරක් මදි.(නදී)
මෙම උත්සාහය සාර්ථක වූ බවට ඉඟි කරමින් අදාල ජර්මන් ජාතික නිලධාරීන් අදාල ස්ථානයට පැය 24 ක් යාමටත් පෙර පැමිණ ඉහත සංගමයේ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.ඔවුන් රෝහලේ වැඩ කටයුතු නැවත අරඹන බවත් ඉක්මනින් අවසන් කරන බවටත් ප්‍රකාශ කොට ඇති බවටද සැළ වේ. ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා කැප වූ සංගමයේ ඉහත උත්සාහයෙන් හෝ අදාල රෝහල් සංකීර්ණය ඉදි වීම ප්‍රදේශවාසි සියල්ලන්ගේම බලාපොරොත්තුව වී ඇත. (දී)
වසර පනහකටත් වැඩියෙන් පරන මහමෝදර මාතෘ රෝහලේ ගොඩනැගිලි වල තිබෙන ඉඩමදී කම හා අවහිරතා නිසා මව්වරුන් හා ළදරුවන් අපහසුතාවන්ට ලක්වන්නේ බොහොකලක සිටය. සුනාමියෙන් හානියට පත්වූ මහමෝදර රෝහලට විසදුමක් ලෙස ඉදිකිරීමට සැලසුම්කර මේ ගොඩනැගිල්ලට ලැබුණු සල්ලි වලට විද්ද බහිරවයාට හොදක් වන්නේ නැත (දී)
රුපියල් කොටි 3000 මාටියා ගැහැවේ කවුද? සුනාමියෙන් මැරුණ මිනිසුන්ගේ රත්තරන් ගත්තේ කවුද? සුනාමියෙන් අවතැන් මිනිසුන්ට දුන් සහනාධාර මාටියා ගැහැවේ කවුද? අනේ දැන් ඒවට තොයිල් කට්ටඩිකම් කරන්නේ කවුද? (නදී)
ලංකාවේ දෙවැනි ගුවන්තොටුපලත් හම්බන්තොට ඉදිවෙද්දී, දකුණු පළාතටම ඇති එකම මාතෘ හා ළමා රෝහල මහමෝදර රෝහල පමණි. මුහුද ආසන්නයේ ඉතා අනාරක්ෂිත ස්ථානයක ඉදිකර තිබෙන මෙම රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ආසන්නයට රැගෙනයාම ප්‍රමාද කරන්නේ මීලග සුනාමියට ලැබෙන ආදාර ගිලින්නට බලාගෙනද? දේශපලකයනි, ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමට පෙර ජනතාවගේ මුලික අවශ්‍යතා සපුරා සිටියොත් නරකද.(නදී)
මේවා සාර්ථක වැඩ. විශේෂයෙන්ම සම්පත් විනාශ කරන අමනුස්සයින්ට මේවා වදිනවා. (නි)