
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් නුවරඑළියට පැමිණෙන බැතිමතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙස රජයේ "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ඉල්ලා සිටියි.
අවට පරිසරයේ පවිත්‍රතාව රැක ගැනීම පිළිබඳව උපරිම අවධානය යොමු කරමින් කැළි කසළ අදාළ ස්ථානවලට පමණක් බැහැර කිරීමට සාමුහිකව මැදිහත් වෙමින් පුරවැසියන් ලෙස වගකීම ඉටු කරන ලෙසද “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සිහිපත් කරයි.
නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වූ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ඊට එක්වන බැතිමතුන්ගේ පහසුකම් නැංවිම සහ නුවරඑළිය නගරයේ කසළ කළමනාකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වෙතින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.
මැයි මස 10වන දින සිට 16වන දින දක්වා පැවැත්වෙන වෙසක් සතිය නිමිත්තෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නුවරඑළියට පැමිණෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වූ ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ කසළ කළමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
එපා කිව්වට වඩා හොඳයි තහනම් කිව්වා නම්, මේ රට පිරිසිදුවට තියාගන්න අලුත් නීති අණපනත් ක්‍රියාත්මක කළ යුතුයි, නැතුව සමහර ආත්මාර්ථකාමි දුෂ්ඨයින් බණ කියලා කවදාවත්ම හදන්න බෑ. සිංගප්පූරුව හදාගත්තේ එහෙමයි, කනවා, බොනවා, විසි කරනවා, රේල් පාර, මහ පාර දෙපස අපායක් කරලා, වාහන වලින් කාපු බීපු කුහකයින් පාරට දවසකට දහස් ගණනක් දානවා... ඔහොම මිනිස්සුන් යන ගමනක් සාර්ථක වෙන්නේ නෑ... පරිසරය අපවිත්‍ර කරන්නන් සදාකාලික හිඟන්නන්... ඕනෑම අපිරිසිදු නිවැසියන් ඉතා දිළිඳුයි. ඒ වගේම ලෝකේ ඕනෑම අපිරිසිදු රටක්ද ඉතා දිළිඳුයි. ඕනෑම පිරිසිදුව රටක් ඉතා ධනවත්ය...