ඉන්දියාවේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින්, නවදිල්ලි නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂය මෙම විරෝධතාව සංවිධානය කර තිබුණු බවත් දහස් ගණනක් ඊට සහභාගී වුණු බවත් පැවැසෙයි.

මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් වහාම ධුරයෙන් ඉවත් විය යුතු යැයි මෙසේ විරෝධතා පැවැත්වෙන්නේ ඔහුගේ මැදිහත්වීමෙන් ඡන්ද හිමි නාමලේඛන සංශෝධනය කිරීමේ ක්‍රියාවලියට එරෙහිවය. ගයානේෂ් කුමාර්ට ඉවත් වෙන්නැයි බල කරමින් මාසයක් තිස්සේ මෙසේ විරෝධතා පැවැත්වෙයි. විරෝධතා ආරම්භ කළේ ජෙන්සී තරුණ බලවේගය ලෙස සැලකෙන ඉන්දීය කැරපොතු පක්ෂයේ ක්‍රියාකාරීන් යැයි ද පැවැසෙයි.

සිදු කළ එම ඡන්ද හිමි නාමලේඛන සංශෝධනයේදී ජනතාව කෝටි 13කට අධික සංඛ්‍යාවකගේ නම් ඉවත් කර ඇති අතර, එමඟින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ පාලක භාරතීය ජනතා පක්ෂයට අනිසි වාසියක් හිමිවන බවට විරෝධතාකරුවෝ චෝදනා නගති. 

නම් ඉවත් කිරීම හරහා මුස්ලිම් සහ අනෙකුත් සුළුතර ජනකොටස්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, එම ජනකොටස් පාලක පක්ෂයට ඡන්දය දීමට ඇති ඉඩකඩ අඩු බැවින් මෙම පියවර ගෙන ඇති බවත් විරෝධතාකරුවෝ පෙන්වා දෙති.

එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන ඉන්දීය මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ තමන් කිසිදු දේශපාලන පක්ෂයකට වාසි සහගත ලෙස කටයුතු කර නොමැති බවය. එමෙන්ම වැරදීමකින් නාමලේඛනවලින් නම් ඉවත් වී ඇති යම් ඡන්දදායකයකු වේ නම් ඔවුන්ට නැවත ලියාපදිංචි වීමේ අවස්ථාව පවතින බව ද කොමිසම පෙන්වා දෙයි.

මේ අතර, පාලක භාරතීය ජනතා පක්ෂය චෝදනා කරන්නේ නීත්‍යානුකූල මැතිවරණ ක්‍රියාපටිපාටිය අභියෝගයට ලක් කරමින් විපක්ෂය විසින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පලුදු කිරීමට උත්සාහ කරන බවය. ඉන්දියාවේ මීළඟ මහා මැතිවරණය 2029 දී පැවැත්වීමට නියමිතය.