(යොහාන් භාසුර)

අයහපත් කාළගුණික තත්වය හමුවේ ජනතාව පීඩාවට පත්වුහොත් සහන සැලසීම සඳහා දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා  සහන කණ්ඩායම් ස්ථානගත කළ බව නාවික හමුදාව පවසයි.

හදිසි ගංවතුර තත්වයකදී ජනතාවට සහන සැළසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීම සඳහා දකුණු නාවික විධානය ගාල්ල, අකුරුස්ස, කොටපොල, නාගොඩ, තවලම, කඹුරුපිටිය සහ අතුරලිය යන ප්‍රදේශයන් වෙත සහන කණ්ඩායම් යොමුකර තිබේ.

ගිං ගඟ සහ නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ඇතිව ඇති ජල ගැලීම් තත්වය හමුවේ එම ප්‍රදේශ වෙත යොමු කර ඇති නාවික හමුදා සහන කණ්ඩායම් ජනතාව වෙත අවශ්‍ය සහන සැලසීමට සූදානමින් සිටියි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇත.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත එම වැඩසටහන ක්‍රියාත්මක වේ.