(අංජුල මහික වීරරත්න)
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි.
නවීන මෙට්‍රො බස් සේවාවක් හඳුන්වාදීමේ වැඩපිළිවෙළ 2025 අයවැය යෝජනාවක් ලෙස ආරම්භ කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ක්ෂේත්රයට නවීන බස් සේවාවක් හඳුන්වාදීම සඳහා සුවපහසු පහත තට්ටු බස් රථ 100ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ අනුව මෙරටට ලැබුණු බස් රථ 104ක් සහ ජපන් රජය මගින් ලබා දෙන ලද බස් රථ 08ක් අද සිට මෙලෙස ධාවනයට එක් කෙරිණි.
මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි සේවාවන් ක්‍රියාත්මක කෙරේ.
කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව අවම කිරීම මෙම නව බස් රථ සේවාව හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණකි.
එම යෝජනාව යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම (LANKA METRO TRANSIT PVT) මේ වන විට සැලසුම්කරණ, ප්‍රසම්පාදන, යටිතල පහසුකම් සංවර්ධන සහ පරීක්ෂණ මෙහෙයුම් අදියර ඔස්සේ ප්‍රගතියක් අත්පත් කරගෙන තිබේ. ඒ අනුව ආරම්භක මෙට්‍රෝ බස් මාර්ග ජාලය අවසන් කර ඇති අතර, එය ප්‍රධාන මාර්ග 7කින් සමන්විත වන අතර සමස්ත මාර්ග කොරිඩෝවෙහි දිග ආසන්න වශයෙන් කි.මී. 188.7කි.
එසේම මෙට්‍රො බස් මෙහෙයුම් සඳහා අවශ්‍ය සම්පූර්ණ ඩිජිටල්කරණ පද්ධතියේ සැලසුමද අවසන් කර ඇති අතර එහි ප්‍රසම්පාදන ක්රියාවලියද ආරම්භ කර තිබේ. මෙම පද්ධතිය නවීන බස් රථ සමූහ කළමනාකරණය, මගී තොරතුරු, ගාස්තු එකතු කිරීම සහ මෙහෙයුම් අධීක්ෂණය සඳහා සහාය වීම අපේක්ෂා කෙරේ.
ඊට සමගාමීව මෙට්‍රො බස් ඩිපෝ සඳහා සැලසුම් අවසන් කර ඇති අතර ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ආරම්භ කර තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව මගින් බස් නැවතුම්පොළ පහසුකම් සංවර්ධනය කිරීමේ කටයුතුද සිදු කෙරේ.
ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය මෙරට ප්‍රධාන නගර කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා:-
අද සිට නාගරික ප්‍රවාහනය වෙනුවෙන් බස් රථ 122ක් පොදු ප්‍රවාහන සේවයට එක් වෙනවා. මේ ආණ්ඩුව පත් වී වසර දෙකක් සම්පූර්ණ වන මොහොතේ මේ රට ගමන් කරන දිශානතිය පෙන්වා දෙන සංකේතයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වා දීමට කැමතියි.
මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය හා සමාන මට්ටමක පොදු ප්‍රවාහන සේවයත් තැබිය යුතු බව පසුගිය දිනෙක ජනාධිපතිවරයා සමඟ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී එතුමා අවධාරණය කළා. එතුමාගේ ඒ දිරිගැන්වීම අද මේ පියවර සඳහා විශාල ශක්තියක් වී තිබෙනවා යනුවෙන් ද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd