ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.
අගෝස්තු මස 17 වැනි දින පැවති මහ මැතිවරණයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු සැසිවාරය ආරම්භවීමට පෙර අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුවේ දී රැස්වී කතානායක, නියෝජ්‍ය කතානායක හා නියෝජ්‍ය කාරක සභා සභාපති පත්කැර ගනිති.
මෙවර පාර්ලමේන්තු මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 106ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 95ක්, දෙමළ ජාතික සන්ධානයෙන් මන්ත්‍රීවරු 16, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු හයදෙනෙක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් හා ඊ.පී.ඩී.පී. සංවිධානයෙන් මන්ත්‍රීවරයකු බැගින් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.
නව පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තනි පක්ෂයකට හිමිව නොතිබීම හා එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු පිරිසක් ගිවිසුම්ගතව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමයි.
පාර්ලිමේන්තුව රැස්වන පළමු අවස්ථාවේ එහි ආසන වෙන්කැර ඇත්තේ ජනාධිපති, අගමැති හා දැනට දිවුරුම් දී සිටින අමාත්‍යවරු තිදෙනා වෙනුවෙන් පමණි. අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කතානායකවරයකු තෝරාගැනීමට නියමිතය. කතානායකවරයා තෝරාගන්නා තුරු පාර්ලිමේන්තු සභා ගර්භයේ ඕනෑම ස්ථානයක අසුන් ගැනීමට තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමිවෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවුරුම් දෙන්නේ කතානායකවරයා තෝරාගැනීමෙන් අනතුරුවය. පසුව නියෝජ්‍ය කතානායකවරයකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයකු තෝරාගනිති.
නැවත පාරේලිමේන්තුව අද සවස 3.00ට රැස්වන අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව සැසිවාරය ආරම්භ කරමින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි.
පාරේලිමේන්තුව අවට දැඩි ආරක්ෂාවක් සළසා ඇති අතර දියවන්නා ඔයේ සිට රාජගිරියේ පොල්දූව දක්වා ජාතික කොඩිවලින් සරසා ඇත. ජයමංගල ගාථා සහ මගුල් බෙර වාදනය කරමින් සම්ප්‍රදායානුකූලව මහත් උත්කර්ශවත් අයුරින් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කැර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්නකෝ කුඩා ඇමති මණ්ඩලයේ ගණන (නි)
ඇමති මණ්ඩලයේ ගණන කුඩා දෙසියකි. දෙකෝටියට සාපේක්ෂව දෙසිය කුඩා ගණනකි. (අ)
සුබ සිතින් සැමටත් රටටත් යහපතක් වෙන්න කියලා පතනවා. (නි)
යහපාලන පොරොන්දු පත්‍රයේ පළමු පොරොන්දුව 20 ට අඩු ඇමති මණ්ඩලය සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ පැතුමයි. (නි)
අපිට 'ජම්බෝ' කැබිනට්ටුවක් නම් එපා. ජනතාවට ඒ බර වැඩියි. 20 යි කියලනේ පොරොන්දු වුණේ. 30 න්වත් නවත්වාගන්න. එක්කෙනා දෙන්නා එකතු කරන්නත් එපා. (නි)
සෝභිත හාමුදුරුවන් යහපාලන රජයේ ජයග්‍රහණයට විශාල පිටුවහලක් වුණා. උන්වහන්සේගේ ඉල්ලීමත් පොරොන්දු වුණා වගේ කුඩා ඇමති මණ්ඩලයක්. ඒකට ජනාධිපතිතුමාත් ,අගමැතිතුමාත් සවන්දෙයි යැයි හිතනවා. ඔක්කොම 20 ක් හොඳටම ඇති. මේ වියදම් අඩු කරලා ජනතාව මත පටවා ඇති බදු ඉවත් කරන්න. (නි)
20 අඩු ඇමති මණ්ඩලයත් පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම වගේ වෙයිද දන්නෙ නැහැ. අපිට තමා මඩුවලිගෙන් ගහන්න ඕනෑ. (නි)
"උත්සවශ්‍රිය" කියන්නේ ගොඩක් වියදම් යයිද දන්නේ නැහැ .කලින් පොරොන්දු වුණානේ අඩු වියදමින් උත්සව තියන බව. (නි)
'ජම්බෝ' කැබිනට්ටුවක් නැත්නම් ගෙම්බෝ පැනලා යාවි, ඉබ්බෝ ඉතුරු වේවි. ආණ්ඩුව කඩා වැටේවි. (නි)
දැනට ජනතාවගෙන් අයකෙරෙන වැට් බදු, මුද්දර ගාස්තු, ජි. එස්. ටි. වැනි බදු බොහොම පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්, කුඩා ඇමති මණ්ඩලයකින් අනවශ්‍ය වරප්‍රසාද වලින් තොරව, නාස්තියෙන් දුෂණයෙන් තොරව රට පාලනය කරනවා නම්. නව රජයට එවැනි ගමනක් යාමට හැකිවේවායි පතමි. (නි)
ධම්ම, ජාතික ආණ්ඩුවක් නිසා පැනලා යන්න තැනක් නැහැ. ඒ නිසා අගමැතිතුමයි ජනාධිපතිතුමයි ඇමති මණ්ඩලය 20 ට වැඩි වෙන්න බැහැ කියලා තනි මතයක හිටියොත් පනින අයට කරන්න දෙයක් නැහැ. (නි)
ඇමති මණ්ඩලය 20 ට අඩුකරනවා කියන එක හීනයක් පමණක් වෙයිද? (නි)
20 කින් කොහොමද අද ආණ්ඩුවක් කරන්නේ? ඔයාලා නම් කියයි. කරන්න ගියාම බලන්න පුළුවන්. තව 20ක්වත් අරන් 40 කින් වැඩේ කරන්න කියලා අපි ඉල්ලනවා (නි)
චමින්ද, 20 ට අඩු ඇමති මණ්ඩලයක් කියන්නේ මෛත්‍රී මහත්තයාගේ අත්සන සහිත යහපාලන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක්. වෙනත් රටවල ඉන්නේ 20 කටත් වඩා අඩු ඇමති මණ්ඩලයක් තමයි. අනෙකුත් මන්ත්‍රීවරුන් මේ අයට සහය වෙනවා. ඔයා දන්නවද ඇමති කෙනෙකුගේ වියදම් වලට අපි බොහොම අමාරුවෙන් ගෙවන බදු මුදල් කොච්චර වැයවෙනවද කියලා? (නි)
න්‍යාය සහ ප්‍රායෝගික වෙනස! (නි)
මෙච්චර කාලයක් ජනතාව අලුතෙන් පාර්ලිමේන්තුවක් පටන් ගන්නවා කිව්වහම ඒ දිහා බැලුවේ පිළිකුලෙන්. ජනතාවගේ බදු මුදල් නාස්ති කරන කොච්චර ලොකු ඇමති මණ්ඩලයක් පත්වෙවිද කියන බියත් එක්ක. නමුත් අද අලුත් බලාපොරොත්තුවක් තිබෙනවා. කුඩා ඇමති මණ්ඩලයක් සමඟින් පක්ෂ බේදයෙන් තොර සාමය පිරුණු යහපාලන රජයකට. (නි)
අජිත්, කොහෙද කුඩා ඇමති මණ්ඩලයක් ඉන්නේ? දේශපාලනයෙන් අන්ධ වෙන්න එපා. (නි)