නව කථානායක ලෙස කරු ජයසූරිය මහතා පත්වීමෙන් අනතුරුව ඔහුට සුබ පතමින් පාර්ලිමේන්තුව ඇමතූ සන්ධානයේ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා කියා සිටියේ කතානායකවරයා ලෙස කරු ජයසූරිය මහතා සමානාත්මතාවයෙන් පාර්ලිමේන්තුවේදී කටයුතු කරනු ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා කථා කරමින් පැවසූයේ පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවේ හරස් කඩක් නියෝජනය කරන බවයි. මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට මන්ත්‍රීන් හැමවිටම සිත්හි දරාගත යුතු බවද ඔහු කීවේය. නව පාර්ලිමේන්තුව වැඩි කලක් නොපවතින බවයි. කතානායකට එහිදී ඇති කාර්ය භාරය ඉතා සුළු යැයිද ඔහු කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා කථානායකට සුබ පතිමින් පැවසූයේ නව කථානායක අපක්ෂපාතව හා ඍජුව කටයුතු කරනු ඇති බවයි. නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩනැගිමට ඔහු තීරණාත්මක හා බැරෑරුම් ලෙස ඉදිරිපත් වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා පැවසූයේ අපක්ෂපාතව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු විවාද මෙහෙයවීමේ කාර්ය භාරය නිසි ලෙස කරමින් ඊට නායකත්වය දෙනු ඇති බවයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ මැතිසබේ මහ විපක්ෂය සමඟ පුංචි විපක්ෂයක් ද ඇති බවයි.

අතුරලියේ රතන හිමියන් කීවේ ගිවිසගත් පරිදි ජාතික රජය සිය කටයුතු නිසි ලෙස කරනු ඇති බවයි.

ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද ටීඑන්ඒ නියෝජනය කරමින් කථානායකට සුබ පැතුම් එක් කළේය.

කතානායකට සුබ පතමින් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ එකම මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා කියා සිටියේ පිහිටැවූ නව රජයේ පාර්ලිමේන්තු කටයුතු මෙහෙය වීමේ බාරදූර වගකීම නව කතානායකට පැවරී ඇති බවයි.

දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසූවේ කථානායකවරයා ව්‍යාපාරිකයකු, දේශපාලනඥයකු හා රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස ලබාගත් අත්දැකීම් ඔහුගේ සේවයේදී ලබාදෙනු ඇති බවයි.