(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු රැප් ගායකයකු වූ 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා අගමැති අපේක්ෂකත්වය දැරූ ආර්.එස්.පී පක්ෂය නේපාල මහ මැතිවරණයෙන් ඊයේ(08) විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

ෂා කත්මණ්ඩු නගරයේ හිටපු ස්වාධින නගරාධිපතිවරයකුද වෙයි නේපාල මහ මැතිවරණයේදී ආර්.එස්.පී පක්ෂය එරට පාර්ලිමේන්තුවේ තිබෙන ආසන 117 න් ආසන 91ක් ජයග්‍රහණය කළේය.

මැතිවරණයේදී ෂා සහ සිවු වතාවක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ කේ.පී ෂර්මා ඔලී එකම මැතිවරණ බල ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් වී ඇති අතර එහිදී ෂා වැඩි ඡන්ද 50,000 කින් ඔලී පරාජයට පත්කර ඇත.

මැතිවරණයේදී ඔලී ඡන්ද 18,734ක් ලබා තිබූ අතර ෂා ඡන්ද 68,368ක් ලබාගෙන තිබිණි. ඒ අනුව හිටපු රැප් ගායකයකු වූ 35 හැවිරිදි බාලේන්ද්‍ර ෂා නේපාලයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මැතිවරණ ප්‍රතිඵල පෙරවරු 5.30 පමණ වනවිට ප්‍රකාශයට පත්කර තිබූ අතර කත්මණ්ඩු නගරයේ මැතිවරණය බල ප්‍රදේශ 10 ආර්.එස්.පී පක්ෂයට දිනාගත හැකි වීම විශේෂත්වයක් විය. එහිදී නේපාල කොංග්‍රස් පක්ෂය ආසන 13ක් දිනාගෙන තිබිණි.

තරුණ ප්‍රජාව නායකත්වය ගත් විරෝධතාවයන්ගෙන් පසුගිය සැප්තැම්බර් මාසයේදී නේපාල රජය බිඳ වැටුණු අතර නව රජයක් පත්කර ගැනීම සඳහා පසුගිය 5 වැනිදා නේපාල මහ මැතිවරණය පැවැත්විණි.