විවිධ පාර්ශව වල කොන්ත‍්‍රාත් අනුව කටයුතු කළ පුද්ගලයින් පිරිසක් නිසා ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී පරාජයට පත්වීමට සිදුවුවද මෙවර නව සභාපති මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිවරයාගේ නායකත්වය යටතේ ශී‍්‍රලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණයේ මාවතට පිවිස සිටින බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයටද හේතුවූයේ මෙම පුද්ගලයින් පිරිස බව කියා සිටි ධීවර අමාත්‍යවරයා ව්‍යාජ ජාත්‍යාලයක් මවා පැවූ මොවුන් ජනතාව නොමග යැවූ බවට චෝදනා කළේය.

ජනාධිපතිවරණයෙන් පසු පසුගිය මැතිවරණ සමයේ යළිත් කලඑලි බැසූ මොවුන්ගේ කි‍්‍රයාකලාපය නිසා නැවත වරක් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට පරාජයම අත්වූ බවද හෙතෙම පැවසීය.

වීරයින් සේ කෑගැසුවද රහස් සබඳතා පවත්වාගනිමින් මෙම පිරිස ගනුදෙනු කරන ආකාරය ගැනද හොඳීන් දන්නා බව ඔහු කීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී නිදහස් පක්ෂය දෙවැනි තැනට දමන්නට දැඟලූ වීරයෙක්ද පසුගිය දිනවල මාධ්‍ය වලින් දැකගත හැකිවූ බව කියා සිටි අමරවීර මහතා ඔහුගේ උත්සාහයන් සියල්ල ව්‍යර්ථ වී ගිය ආකාරයද අපූරුවට දැකගත හැකිවුනු බවද පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍රලංකා නිදහස් පක්ෂයට ජය සහතික බවද හිටපු ජනපති රාජපක්ෂ මහතාද පක්ෂයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් දිනවීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස බවද ධීවර අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.