(ඩයනා උදයංගනී)

ණයට කෑමේ ආදිනව උපරිමයට විඳිද්දීත් වත්මන් රජය යළිත් ඊ ලඟ ඡන්දය වෙනුවෙන් පොරොන්දු දේශපාලනය පටන් ගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

නීතියක් සම්මත කර හෝ පොරොන්දු දේශපාලන සංස්කෘතිය නැති නොකළොත් ඊ ලඟ ඡන්දය දිනාගැනීම සඳහා දේශපාලනඥයින් රටේ මී ළඟ පරම්පරාවත් උකස් කරනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාසල් දරුවන්ට නොමිලේ දිවා ආහාරය  ලබාදීම, සෑම දිස්ත්‍රික්කයකම විශ්ව විද්‍යාලයක් ඇරඹීම, විදේශ රටවල ඉගෙන ගන්න දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, සමෘද්ධි ලාභීන් වැඩි කිරීම ආදී වශයෙන් ඔවුන් ලබාදෙන පොරොන්දු ඉතාම හොඳ වුවත් ඒ සඳහා මුදල් කෝ යැයි තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ද හෙතෙම කීවේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේ දී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.