ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතාගේ ආරක්ෂාව පිළිබඳ වගකීම තමා බාර ගන්නා බවත්, ඔහුගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු ලබා දීම පිළිබඳ ඉල්ලීම නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්ට යොමු කර ඇති බවත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ පැවසීය.

නිවසේදී, කාර්යාලයයේ දී හා මගතොටේ දී ඔහුගේ ආරක්ෂාව ගැන සොයා බැලීමට  පොලිස් බුද්ධි නිලධාරීන් 27ක් යොදා ඇතැයි ද සේනානායක මහතා කීවේය.

  ජයසූරිය මහතා පැවසුවේ තමා එම බුද්ධි නිලධාරීන් නොහදුනන නිසා තමන් ලුහු බඳින්නේ බුද්ධි නිලධාරීන් ද නැතහොත් නාඳුනන පුද්ගලයන්ද යන්න ගැන ගැටළු ඇති විය හැකි බවයි. එබැවින් එම බුද්ධි නිලධාරීන් කවුදැයි තමාට පෞද්ගලික හදුන්වා දෙන ලෙස නීතීඥවරයා ඉල්ලීමක් කළේය.

ඒ ගැන සාකච්ඡා කර පසුව දැනුම් දෙන බව  සේනානායක මහතා කීවේය.

  ජයසූරිය පසුපස ගිය නාඳුනන පුද්ගලයන් සම්බන්ධයෙන් කළ විමර්ශනයෝ තොරතුරු ඉදිරිපත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ නීතීඥවරයා පසුපස හඹා යන පුද්ගලයන් පැහැදිලිව සීසීටීවී දර්ශනවල සටහන් වී ඇති බවයි.

පෞද්ගලික හේතුවක් නිසා එම විමර්ශනවලින් තමා ඉවත්වූ බව කී නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ අධීක්ෂණයෙන් විමර්ශන සිදු කැරෙන බව ද සඳහන් කළේය.

පැමිණිල්ල ලබන 25 වැනි දා නැවත කැඳවීමට නියමිතය.