‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ වාර්ෂික මහ සමුළුව, තුර්කියේ අන්කාරා නුවරදී ඇරැඹුණි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ, ආරක්ෂක වියදම් සම්බන්ධයෙන්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු නේටෝ රටවලට චෝදනා කරමින් සිටින පසුබිමකය.

නේටෝ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගන්නා ලද යුද සන්ධානයයි. ඇමෙරිකාව එහි පුරෝගාමියකු පමණක් නොව, ප්‍රබල සාමාජිකයකු ද වෙයි. අන්කාරා සමුළුවට ට්‍රම්ප් ද සහභාගී වීමට නියමිතය. තුර්කිය ද නේටෝ සාමාජිකයෙකි. නේටෝ සාමාජික රටවල් ගණන 32 කි.

ට්‍රම්ප්ගේ චෝදනා හමුවේ, අන්කාරා නුවර පැවැත්වෙන සමුළුවේදී, නේටෝ සාමාජිකයන් වන යුරෝපා රටවල්, ඩොලර් බිලියන ගණනක නව හමුදා ගිවිසුම් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

අන්කාරා නේටෝ සමුළුවට නේටෝ නොවන රටවල් වන යුක්රේනයේ ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ දකුණු කොරියා ජනාධිපති ලී ජේ-මියුන්ග් ද සහභාගී වනු ඇතැයි පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් පමණක් නොව, කිසියම් දුරකට සමතයකට පත් වුණු ඇමෙරිකා ඉරාක යුද්ධය සම්බන්ධයෙන් ද නේටෝ සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ ද හමුවක් පැවැත් වීමට නියමිතය.