(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝවේ පැකට් 98 ක් මාලු ප්‍රවාහනය කරන අධි ශීතකරණ සහිත ලොරියකින් කුඩාවැල්ල ධීවර වරායෙන් පිටතට ගෙන යාමට තැත්කල සැකකරුවන් දෙදෙනෙක් තංගල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් විසින් කුඩාවැල්ල ධීවර වරායේ ගේට්ටුව අසලදී අද (13) අලුයම 01 ට පමණ අත් අඩංගුවට ගනු ලැබූහ .

මෙහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 49 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 49 ක් සොයාගත් බව පොලිසිය කියයි . කෝටි ගණනක වීදි වටිනාකමක් ඇති මෙම කුඩු පැකට් එකක කිලෝව බැගින් අසුරා ඇතැයි පොලිසිය පවසයි. 

අත් අඩංගුවට ගෙන ඇත්තේ ගුන්නෑපාන සහ පැපියලවල පදිංචි 35 වන සහ 36 වන වියේ පසුවන දෙදෙනෙකි.

මුහුදු මාර්ගයෙන් බහුදින ධීවර යාත්‍රාවකින් කුඩාවැල්ල ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය මාලු ප්‍රවාහනය කරන මුවාවෙන් පිටතට ගෙන යාමට සැකකරුවන් තැත්කර ඇතැයි පොලිසිය කියයි .

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල සේනාපති ද සිල්වා මහතා ඇතුළු නිළධාරින් සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඡායා රූප චන්ද්‍රසේන ගමගේ